ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම (AASL) 2025 වසරේ පළමු මාස හය තුළ මෙහෙයුම් ලාභයේ 78%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව මෙම තොරතුරු හෙළි වී ඇත.
නිවේදනයේ සඳහන් වන පරිදි, 2024 වසරේ පළමු මාස හය තුළ රුපියල් මිලියන 9,049ක්ව තිබූ මෙහෙයුම් ලාභය, 2025 වසරේ එම කාලය තුළ රුපියල් මිලියන 16,133ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම ලාභ වර්ධනයට අමතරව, 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ගුවන් ගමන් වාර ද 16%කින් වර්ධනය වී තිබේ. මෙයින් ජාත්‍යන්තර ගුවන් ගමන් වාර 17%කින් ද, දේශීය ගුවන් ගමන් වාර 10%කින් ද වර්ධනය වී ඇත.
ජාත්‍යන්තර ගුවන් ගමන් වාර වැඩිම වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ මාර්තු මාසයේදීය. එය 2024 මාර්තු මාසයට සාපේක්ෂව 22%ක වර්ධනයකි. දේශීය ගුවන් ගමන් වාරවල වැඩිම වර්ධනය ජුනි මාසයේදී වාර්තා වී ඇති අතර, එය 2024 වසරට සාපේක්ෂව 38%ක වර්ධනයක් බව අමාත්‍යාංශය පවසයි.