වත්මන් ස්වරූපයෙන් සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් දූෂණය සහ අසාධාරණ ලාභ ඉපැයීම් සඳහා වැඩි අවස්ථාවක් හිමිවන බවත්, එය ජාතික ජන බලවේග රජයේ දූෂණ විරෝධී අරමුණු සමඟ ගැටෙන බවත් ස්වාධීන ආර්ථික පර්යේෂණ ආයතනයක් වන ඇඩ්වොකාටා පවසයි.
ඇඩ්වොකාටා ආයතනයේ පර්යේෂක සුදාරක ආරියරත්න මහතා සඳහන් කරන්නේ, මෙම පනත් කෙටුම්පත කඩිමුඩියේ සම්මත කිරීමට වඩා සිංගප්පූරුව, පිලිපීනය සහ මැකාවු වැනි පළපුරුදු රටවලින් උපදෙස් ලබාගත යුතු බවයි. පනතේ පවතින අඩුපාඩු හේතුවෙන් දුර්වල නියාමන අධිකාරියක් නිර්මාණය විය හැකි බවත්, එය ශ්රී ලංකාවට කලාපීය තරගකාරීත්වයක් ලබා ගැනීමට බාධාවක් විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
පර්යේෂකයා තවදුරටත් කියා සිටියේ, මෙම පනත් කෙටුම්පත ශ්රී ලංකාවේ සූදු ක්රීඩා නියාමනය සඳහා ගනු ලබන පළමු උත්සාහය බැවින්, අනාගතයේදී බලවත් පාර්ශවයන්ගේ බලපෑම් මත නීති සංශෝධනය කිරීමට සිදුවීමට වඩා, දැන්ම එය නිවැරදිව සකස් කර ගැනීම වැදගත් බවයි. එයින් රටට වඩා යහපතක් සිදුවනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.