ලොකු දොස්තරලා තුන්දෙනෙක්ට එරෙහිව පරීක්ෂණයක්

 

රත්නපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

පසුගිය අගෝස්තු 14 වන දින මෙම වෛද්‍යවරුන් තිදෙනා තම නිල රාජකාරී වේලාව තුළ පෞද්ගලික රෝහලක ශල්‍යකර්මයකට සහභාගී වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා සඳහන් කළේ, මෙම සිදුවීම මඟින් පොදු චක්‍රලේඛ අංක 02/99 උල්ලංඝනය වී ඇති බවයි.

සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව, හදිසි අවස්ථාවකදී පෞද්ගලික රෝහලක රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට විශේෂඥ වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම්, අදාළ පෞද්ගලික රෝහල විසින් ප්‍රථමයෙන්ම රාජ්‍ය රෝහලේ අධ්‍යක්ෂවරයාට දැනුම් දිය යුතු අතර, අධ්‍යක්ෂවරයාගේ අනුමැතියෙන් පසු පමණක් වෛද්‍යවරයාට එම සේවය සඳහා සහභාගී විය හැකිය. කෙසේ වෙතත්, මෙම සිදුවීමේදී එම ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසා ඇත.

මෙම වෛද්‍යවරුන් රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දීමකින් තොරව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට පමණක් දැනුම් දී ගොස් ඇති අතර, ඒ සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට බලයක් නොමැති බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දී තිබේ.

මෙම සිද්ධිය වූ දින, නොමේරූ ළදරු ඒකකය භාරව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සහ පැය 24 පුරා රාජකාරියේ නිරත විය යුතු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාද මේ පිරිසට අයත් බව වාර්තා වේ.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසීමට මාධ්‍ය උත්සාහ කළද, ඒ සඳහා ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart