රජයෙන් ගත් රුපියල් මිලියන හතක මූල්‍ය ප්‍රතිපාදන වැය කර වැලිහේන ප්‍රදේශයේ ඉදිකර ඇති කඩ කාමර 42ක් සහිත වෙළෙඳ සංකීර්ණයෙන් කටාන ප්‍රාදේශීය සභාවට අයවිය යුතු කඩ කුලිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම විසින් බලහත්කාරයෙන් ලබා ගන්නා බව එම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ලෙස්ලි ප්‍රනාන්දුපුල්ලේ මහතා පැවසීය.
මේ නිසා සත පහක ආදායමක් කඩකාමරවලින් ප්‍රාදේශීය සභාවට නොලැබෙන බව ද හෙතෙම කීවේය.
ප්‍රාදේශීය සභාවේ සභාපතිනි නිෂානි ඉරේසා ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 15 දා පැවැති මාසික සභා රැස්වීමේදී ඒ මහතා මේ බව කීවේය.
අගෝස්තු මාසයට අදාළව කටාන ප්‍රාදේශීය සභාවේ මාසික සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් ඒ මහතා පැවසුවේ වැලිහේන ශාන්ත කයිතනු දෙව්මැඳුරට අයත් ඉඩම් කොටසක් හතළිස් අවුරුදු බදු පදනම යටතේ ලබා ගෙන 2007 වසරේ ඔක්තෝබර් 28 දා මෙම ගොඩනැඟිල්ල විවෘත කර ඇති බවයි.
එදින සිට මේ දක්වා ප්‍රාදේශීය සභාවට මිලියන 21ක පමණ බදු මුදලක් අයවීමට ඇති බවත් එය නිසි පරිදි අය නොවන බවත් ඒ මහතා කීවේය.
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම මඟින් බලහත්කාරයෙන් මෙම කඩකාමරවල කුලිය ලබා ගන්නා බවත් සභාවට ලැබිය යුතු මුදල තක්සේරු කර ඇත්තේ කඩ කාමරයක කුලිය මසකට රුපියල් 2500ක් ලැබෙන පදනමින් බවත් පැවසුවේය.
සත්‍ය වශයෙන්ම කඩයකින් වර්තමානයේ අය කරන කුලිය 7500ක් බැවින් ප්‍රාදේශීය සභාවට මිලියන 63ක් පමණ අයවිය යුතු බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.
මෙම කඩ කාමර සිද්ධිය පිළිබඳ හිටපු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන් විමසීමක් කළ අතර දැනට විදේශගතව සිටින බැවින් ලංකාවට පැමිණි පසුව කරුණු පැහැදිලි කරන බවට වට්ස්අැප් පණිවුඩයක් මඟින් දන්වා තිබිණි.
මෙම ගොඩනැඟිල්ල පාලනය සඳහා නීත්‍යනුකූල අයිතිය ඇත්තේ කටාන ප්‍රාදේශීය සභාවට බවත් තමන් විසින්ද කඩ කුලී අයකර ගැනීම හා කඩ ටෙන්ඩර් කිරීම සභාව මඟින් සිදු කළ යුතු බවට කළ යෝජනා සභා සම්මත වුවත් හිටපු සභාපතිවරු සහ නිලධාරීන් එම තීරණ ක්‍රියාත්මක නොකළ බව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන ලක්ෂ්මන් ප්‍රනාන්දුපුල්ලේ මහතා කියා සිටියේය.
මෙම කඩ කාමර සඳහා නීත්‍යනුකූලව අයිතිය ඇති ප්‍රාදේශීය සභාවට අයවිය යුතු මුදල් අයකර ගැනීමට අවශ්‍ය පියවර කඩිනම් කරන බව කටාන ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජිත් රොෂාන්ත අප්පුහාමි මෙහිදී කීවේය.
මේ වන විට ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අධ්‍යාපන පදනම අක්‍රියව ඇති අතර එමඟින් පවත්වාගෙන ගිය පෙර පාසල්ද නවතා දමා ඇත.