ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාව සාර්ථක වුවත්, තැපැල් වෘත්තීය සමිති සිය වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව අද (අගෝස්තු 19) පස්වරුවේ ප්‍රකාශ කළේය.
ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව පැවසීය.
ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ (අගෝස්තු 18) පස්වරුවේ සිට තැපැල් වෘත්තීය සමිති මෙම අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කර ඇති අතර, මේ හේතුවෙන් දිවයින පුරා සියලුම තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී තිබේ.
තැපැල් හා විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඊ. ජී. සී. නිරෝෂන මහතා මෙසේ පැවසීය: “අමාත්‍යවරයා සමඟ අපට වහාම සාකච්ඡාවක් ලබා දෙන්න. ඒ සාකච්ඡාවෙන් පසු අපි අඛණ්ඩ වැඩවර්ජනය අවසන් කිරීමට සූදානම්. එතෙක් අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මකයි.”