ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) රැකියා පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බවත්, එම බඳවා ගැනීම් සඳහා කිසිදු දේශපාලන හෝ නිලධාරී මැදිහත්වීමකට ඉඩ නොදෙන බවත් එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.
සභාපතිවරයා අවධාරණය කරන්නේ, අයදුම්කරුවන් බඳවා ගැනීමේදී කිසියම් ආකාරයක හඳුනාගැනීමක් මත හෝ මුදල් ලබාදී රැකියාවට පැමිණ ඇති බවට අනාවරණය වුවහොත්, අදාළ පුද්ගලයන් එම රැකියා සඳහා නුසුදුස්සන් බවට පත්වන බවයි. එසේම, රැකියා ලබා දීම හෝ ලබා ගැනීම වෙනුවෙන් මුදල් හුවමාරු කරගත් සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
මෙමඟින්, රටේ ඕනෑම සුදුසුකම් ලත් පුද්ගලයෙකුට කිසිදු බලපෑමකින් තොරව මෙම රැකියා සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමි වේ.
අතීතයේදී මෙම ආයතනවල රැකියා අවස්ථා සඳහා දේශපාලන මැදිහත්වීම් හෝ ඉහළ නිලධාරීන්ගේ හිතවත්කම් මත පුද්ගලයන් පත් කිරීම් සිදුව ඇති බවට මෙන්ම, අල්ලස් ලෙස විශාල මුදල් ලබාගෙන රැකියා ලබා දී ඇති බවටද තොරතුරු වාර්තා වී තිබූ බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, ඉදිරියේදී එවැනි අක්‍රමිකතා කිසිවක් සිදු නොවන බවත්, සුදුසුකම් මත පමණක් රැකියා ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.