2026 අයවැය සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයන්ට අදාළ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 2025 වසරේ වෙන් කළ අයවැය ප්‍රතිපාදන හා ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කෙරිණි.
සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 41ක් වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම සඳහා ඉදිරි අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන වෙන් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. දැනට පුද්ගලයන් 30,000කට එක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් පවතින අතර, එය 10,000කට එකක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය විය.
ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සහ උපායමාර්ගික සැලැස්මක් ලබන වසරේ එළිදැක්වීමට නියමිත බවද සඳහන් වූ අතර, සෞඛ්‍ය සේවාවේ භෞතික හා මානව සම්පත් නවීන තාක්ෂණයට හා ජනගහන වර්ධනයට අනුකූලව පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. උපකරණ මිලදී ගැනීම් සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම සහ ඖෂධවල ගුණාත්මකභාවය සහතික කිරීමේ ක්‍රමවේදයන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ජාතික රුධිර පාරවිලන සේවය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය වාහන මේ වසරේදීම මිලදී ගැනීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ සැලසුම් පිළිබඳවද අවධානය යොමු වූ අතර, සමාජ ආකල්ප වර්ධනය සඳහා රාජ්‍ය මාධ්‍යයේ වගකීම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා අවශ්‍ය සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් ලබන අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ඔහු සඳහන් කළේය.
තැපැල් සේවාව නවීකරණය කිරීම පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. නවීන තාක්ෂණයට අනුව කුරියර් සේවා වැනි අංග එකතු කරමින් තැපැල් සේවාව නවීන මාදිලියකට ගෙන ඒමේ අවශ්‍යතාව අවධාරණය විය.
පසුගිය අයවැයෙන් සියලු ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, එම මුදල් ව්‍යාපෘති සඳහා නිසි ලෙස යොදවා උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ වැදගත්කම ජනාධිපතිවරයා පැහැදිලි කළේය. සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.