ටිබෙටයේ සංචාරයට ගිය චීන ජනාධිපති ෂී ජින්පිං

චීන ජනාධිපති ෂී ජින්පිං ටිබෙටයට සංචාරයක් සිදු කරමින්, සමගිය සහ සංවර්ධනය පිළිබඳව අවධාරණය කර තිබේ.

චීනය විසින් ටිබෙටය ස්වයං පාලන කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර වසර 60ක් සපිරීම නිමිත්තෙන් ඔහු මෙම සංචාරයට එක් වී තිබෙන අතර, 20,000කට අධික ජනතාවක් ඉදිරියේ දේශනයක් ද පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කලාපයට ජනාධිපතිවරයෙකු ලෙස ඔහු දෙවන වරටත් සිදු කළ මෙම සංචාරයේදී, ටිබෙටයේ බෙදුම්වාදයට එරෙහිව දශක ගණනාවක් තිස්සේ පැවති අරගලයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් එරට රජයට ප්‍රශංසා කළ බව සඳහන් වෙයි.

මීටර් 4,000කට වඩා වැඩි උන්නතාංශයක පිහිටි ලාසා නගරයේ සිදු කළ මෙම සංචාරය, 72 හැවිරිදි ෂී ජින්පිංගේ සෞඛ්‍යයට අවදානමක් විය හැකි වුවත්, එය ටිබෙටය කෙරෙහි ඔහුගේ අධිකාරය තහවුරු කිරීමට ඇති ආශාව පෙන්නුම් කරන්නක් බව විචාරකයෝ පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂී ජින්පිංගේ ප්‍රකාශිත අදහස්වල ටිබෙටයේ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා පිළිබඳ කිසිදු සඳහනක් නොතිබූ බව වාර්තා වන අතර, දලයි ලාමා 1959 දී චීනයෙන් පලා ගිය දා සිට ඉන්දියාවේ ජීවත් වෙයි.

නිල වාර්තාවලට අනුව ෂී ජින්පිං සිය කතාවේදී කියා සිටියේ, “ටිබෙටය පාලනය කිරීමට, ස්ථාවර කිරීමට, සංවර්ධනය කිරීමට නම්, පළමුවෙන් ම දේශපාලන ස්ථාවරත්වය, සමාජ ස්ථාවරත්වය, ජනවාර්ගික සමගිය සහ ආගමික සහජීවනය පවත්වා ගැනීම වැදගත්” බවයි.

90 හැවිරිදි දලයි ලාමා ටිබෙටයේ තත්ත්වය විසඳීම සඳහා “මධ්‍යම මාර්ගයක්” (චීනය තුළ සැබෑ ස්වයං පාලනයක්) නිරන්තරයෙන් අවධාරණය කළත්, බීජිං රජය ඔහුව සලකන්නේ බෙදුම්වාදියෙකු ලෙසයි.

ටිබෙට් ජාතිකයින්ට තම ආගම නිදහසේ ඇදහීමට අවස්ථාව ඇති බව චීනය දිගු කලක් තිස්සේ ප්‍රකාශ කළත්, මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ බීජිං රජය විසින් සියවස් ගණනාවක් පැරණි ටිබෙට් අනන්‍යතාවය ක්‍රමයෙන් ඛාදනය කරමින් සිටින බවයි.

කෙසේ වෙතත්, චීන පාලනය යටතේ ටිබෙටයේ ජනතාවගේ ජීවන තත්ත්වය බෙහෙවින් දියුණු වී ඇති බවත්, ඔවුන්ගේ මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනය කිරීමක් සිදු නොවන බවත්, බීජිං රජය පවසයි.

ජනපතිවරයාගේ සංචාරයේ අරමුණු අතර, ටිබෙටය වෙත සහ සිදු වන ආර්ථික, සංස්කෘතික සහ පෞද්ගලික හුවමාරු දිරිගැන්වීමත්, ජාතික පොදු භාෂාවක් සහ අක්ෂර ජනප්‍රිය කිරීමත් ඇතුළත් බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

තවද, ටිබෙටයේ ප්‍රධාන කාර්යයන් හතරක් වන ස්ථායිතාව සහතික කිරීම, සංවර්ධනයට පහසුකම් සැලසීම, පරිසරය ආරක්ෂා කිරීම සහ දේශසීමා ශක්තිමත් කිරීම පිළිබඳව ද ඔහු මෙහිදී අවධාරණය කළ බව සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart