ඇමැති වසන්ත සමරසිංහට එරෙහිව නඩුවක් පවතින ගල්කිස්ස උසාවියේ නඩුකාරවරයා මාරුකර තිබෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය.
සමෘද්ධි සංවර්ධන පනත් කෙටුම්පත ඇතුළු නියෝග කිහිපයක් සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් මේ බව කී මන්ත්‍රිවරයා මෙසේද කීවේය.
“ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා පත් කළේ ජනාධිපතිතුමා. ඒ සභාපතිතුමා අද අයින් වෙලා. එතුමන්ට අමාත්‍යාංශයේ ලේකම්වරයා බලපෑම් කරලා තියෙනවා. පන්නල ගණේමුල්ල වත්තේ සභානායකතුමාගේ දිස්ත්‍රික්කය. පන්නල අක්කර හැත්තෑවක් ඇමැතිතුමාගේ ඥාති හිතවතුන්ට බෙදලා දෙන්න කියලා ලේකම්වරයා කළ ඉල්ලීම එතුමා ප්‍රතික්ෂේප කරලා තියනවා. ජීඑම් ගිහිල්ලා බලලා තියෙනවා සභාපතිතුමා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අමාත්‍යාංශයේ ලේකම්තුමා බලපෑම් කළ නිසා ඉල්ලා අස්වෙන්න ඇති කියලා මම හිතනවා.”
“අධිකරණ අමාත්‍යාංශ ගැනත් අද කතා කරනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණා කිව්වේ 77-89 කාලේ. ඒ කාලෙදි මැතිනියගෙ ප්‍රජා අයිතිය අහෝසි කළා. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. ඒ කාලෙදි තමයි ප්‍රජාතන්ත්‍රවාදය වළ දැම්මා කිව්වෙ. නමුත් දැන් ඒ කාලෙ නොවුණ දේවල් දැන් වෙනවා. වත්මන් ආණ්ඩුව යටතේ අධිකරණය ගැන විශ්වාසයක් නැති තැනට පත් වෙලා තියෙනවා. වසන්ත සමරසිංහ ඇමැතිවරයාට ගල්කිස්ස උසාවියේ නඩුවක් තියෙනවා. පොලිසිය භාර ලේකම් රවී සෙනෙවිරත්නට නඩුවක් තියෙනවා. එහෙම තියෙද්දි ගල්කිස්ස උසාවියෙ නඩුකාරයා මාරු කරලා තියෙනවා. නඩුකාරවරු මාරු කරන්නේ කිසිම ක්‍රමවේදයක් අනුව නෙමෙයි. එක්කෙනෙක් වැල්ලවායට දානවා. තව කෙනෙක් හම්බන්තොටට දානවා. අත්දැකීම් අඩු අය වෙනත් තැන්වලට දානවා. මේ වෙනකොට නඩුකාරවරු 10කගෙ වැඩ තහනම් කරලා තියෙනවා. මේ විධියට ගියොත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. ආණ්ඩුවට ඕනෑ විදියට අධිකරණ ඇමැතිතුමාට ඕනෑ විදියට නඩුකාරවරු පත් කරනවා. අල්ලස් එකයි පොලිසියයි විතරක් තියාගෙන ආණ්ඩු කරන්න බැහැ. කොළඹ මහාධිකරණයේ අත්දැකීම් ඇති අය වෙනත් තැන්වලට යවනවා. වෙනත් අයව කොළඹට පත් කරලා තියෙනවා. මේ නිසා ඇතැම් නඩුකාරවරු ඉල්ලා අස්වන තැනට පත් වෙලා. ඉතිහාසයේ කවදාවත් නැති විදියට අධිකරණයට ඇඟිලි ගහනවා. 88- 89 වත් නැති ලෙස ඇඟිලි ගහනවා. ඒ කාලෙ නෙමෙයි දැන් තමයි ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා කියලා කියන්න වෙන්න. අධිකරණයට ඇඟිලිගැසීම හොඳ නැහැ.”
සභානායක බිමල් රත්නායක
“විනිශ්චයකාරුවරුන්ගේ ස්ථාන මාරු සිදු කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්. මේ කරන චෝදනා එල්ල වෙන්නේ ජනාධිපතිතුමාටවත් ආණ්ඩුවටවත් නෙමෙයි. ඍජුවම අධිකරණ සේවා කොමිෂන් සභාවට. එවැනි ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා සොයා බලන්න.”
මන්ත්‍රි චාමර සම්පත් දසනායක
“වැරැද්දක් වුණාම පාර්ලිමේන්තුවෙ කතා කළ යුතුයි. නැතුව වෙන කොහෙද කතා කරන්න පුළුවන්.”