කෝටියක මුදල් ඉස්සූ රියදුරා පැය 24 ඇතුළත පොලිස් දැලේ

බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින් රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් සොරා ගත් එම ආයතනයේම රියදුරා පැමිණිල්ල ලැබී පැය 24 ක් තුළදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි.

අස්ථානගත වූ මුදල් මල්ලේ තිබු රුපියල් එක්කෝටි තුන්ලක්ෂ අනූ හයදාහසක මුදලක් පොලිසිය මගින් සොයා ගෙන තිබෙනවා.

එකී මුදල් තොගය අතර වලංගු මුදල් රුපියල් 10,000,000/=, පළුදු නෝට්ටු රුපියල් 6000/= , රුපියල් 390,000/= ක් වටිනා ඇමෙරිකන් ඩොලර් 1300 ක් තිබු බව පොලිසිය සඳහන් කරයි.

බම්බලපිටිය ෆොන්සේකා පෙදෙසේ පිහිටි මූල්‍ය ආයතනවල මුදල් එක්රැස් කිරීම සහ බෙදාහැරීම සිදු කරනුු ලබන ආයතනයක ඉකුත් 13 වෙනිදින කොළඹ ප්‍රදේශයේ පිහිටි ඒ ටි එම් කුටි 15 ක එක් රැස්ව තිබූ මුදල් රියැදුරු ඇතුළු සිව් දෙනකු විසින් එකතු කරගෙන බම්බලපිටියේ ආයතනය වෙත පැමිණ තිබූ බව පොලිසිය පවසයි.

ඔවුන් විසින් මුදල් මලු 15 ක් රැගෙන ආවද මුදල් එකතු කිරීම සඳහා ගිය නිලධාරීන් ආයතන වෙත භාරදී ඇත්තේ මුදල් මලු 14 ක් බවත්, වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ඒ ටී එම් කුටියෙන් ලබා ගත් රුපියල් කෝටියකට අධික මුදල් අඩංගු මල්ල බාරදී නොමැති බවට එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකරු පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක්, මුදල් එකතු කිරීම සඳහා ගිය කණ්ඩායමේ නිලධාරීන් තිදෙනාගෙන්ද හා රියදුරාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකර අනතුරුව සීසීටිවි දර්ශනද පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.

ඒ අනුව විමර්ශන සිදුකළ පොලිස් කණ්ඩායම සැකකරුගේ මඟ පෙන්වීම මත සැකකරු පදිංචි පයාගල නිවස වෙත ගොස් කාමරයේ අල්මාරියේ සඟවා තිබූ රුපියල් එක්කෝටි තුන් ලක්ෂ අනූ හයදාහක් මුදලක් අඩංගු මුදල් බෑගය සොයා ගැනීමට සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මීට මාස හයකට පමණ ඉහතදී සේවයට පැමිණි පුද්ගලයකු බවත් පොලිසිය සඳහන් කරන අතර, 34 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් පත්මලාල් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart