පුනරුදේ එන්නත් 03 දෙනෙක් මරලා

වත්මන් ආණ්ඩුව යටතේ ආනයනය කරන ලද හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කළ තිදෙනකු මිය ගොස් තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ඊයේ ( 21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙම හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ෆාමා ඇසෝසියේට් (Pharma Associates) විසින් ගෙන්වා ඇත.

රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, මුදල් පනත යටතේ නියෝගය සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග සම්බන්ධ විවාදයට එක්වෙමින් මන්ත්‍රිවරයා මේබව කීය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රශ්නය ආවම කෙහෙළිය රඹුක්වැල්ල හිරේ දැම්මා. හියුමන් ඉමියුනොග්ලොබියුලින් ගෙනාපු සමාගමේ සාම්පල් ලංකාවේ ෆෙල් වුණා. ඒක බෙදන්න එපා කියලා නැවැත්තුවා. නවත්වලා මේ ගැන එන්. එම්. ආර්. ඒ. එක පරීක්ෂණයක් කළා. පරීක්ෂා කළාට පසුව ඒක ෆේල් කියලා අඳුනගත්තා. පස්සෙ මොකක්ද වුණේ මේ බඩු ටික ඉවත් කරන්න කිව්වා. ඉවත් කිරීම පැත්තක තියලා ඉන්දියානු සමාගම ගිහිල්ලා ඉන්දියාවෙන් සහතිකයක් අරගෙන ආවා. සාමාන්‍යයෙන් ඉන්දියාවෙ නිෂ්පාදනයක් ඉන්දියාවෙන් චෙක් කරන්නෙ නැහැ. එක්කෝ ජර්මනියෙන් නැත්නම් වෙනත් රටකින් තමයි චෙක් කරන්නේ. නමුත් අවසානයේ මොකක්ද වුණේ. මේ වෙනකොට තුන් දෙනෙක් මිය ගිහිල්ලා.”

“එක්කෙනෙක් කොළඹ උතුර රෝහලේ දී මිය ගියා. ඔහු කේ.ඩී. සුජීව. ඊළඟට ඩබ්ලිව්.ඩී. නන්දසේන කියලා කෙනෙක් නුවර රෝහලේ දි මිය ගියා. මේ දෙන්නාම ළඟදි මිය ගිය අය. ඊට කලින් ත්‍රිකුණාමලයෙදි එක් කෙනෙක් මිය ගියා. මේ ආණ්ඩුව යටතේ ගෙනාපු හියුමන් ඉමියුනොග්ලොබියුලින් ගහපු තුන් දෙනෙක් මිය ගොස් තිබෙනවා. දැන් කවුද මේකට වගකියන්නෙ. කවුද මේකට හිරේ යන්න ඕන. එන්. එම්. ආර්. ඒ. එක නවත්වපු එකක් ආපහු ගහන්න ඉඩ දුන්නේ නැහැ. ඉවත් කරන්න කියපු එකක් යළිත් පරීක්ෂා කරන්න කියලා කිව්වෙ නැහැ. කෙහෙළිය රඹුක්වැල්ලට වැඩිය මේක භයානක කාරණයක්. මොකද හේතුව මේකෙ තුන් දෙනෙක් මැරිලා තියෙනවා. මේ ගැන ආණ්ඩුව මොකක්ද කියන්නෙ කියලා දැන ගන්න කැමැතියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart