නව පොලිස්පති කථානායක හමුවෙයි

 

නව පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පසුගියදා (අගෝස්තු 22) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.

මෙම හමුවේදී කථානායකවරයා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පළ කළ අතර, ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික තීරණයකින් සහ පූර්ණ විනිවිදභාවයකින් යුක්තව මෙම පත්වීම සිදුවීම පිළිබඳව සතුට පළ කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ, තමන් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව පොලිස්පතිවරයා ලෙස පත්වීම පිළිබඳව සතුටු වන බවත්, එය තම රාජකාරි වඩාත් හොඳින් ඉටු කිරීමට යහපත් පරිසරයක් නිර්මාණය කරන බවත්ය.

මෙම හමුවේදී මහජන ආරක්ෂාව සහ රිය අනතුරු අවම කර ගැනීම සඳහා ගෙන ඇති සහ ඉදිරියේදී ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එහිදී රිය අනතුරු අවම කිරීම සඳහා වඩාත් විනයගරුකව රිය ධාවනය කරන රියදුරන් දිරිමත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව පොලිස්පතිවරයා කථානායකවරයාට දැනුම් දුන්නේය.

මෙම වැඩසටහන යටතේ, රියදුරන් ගමන් කරන මාර්ගය පුරා ඔවුන්ගේ රිය ධාවනය පිළිබඳ තොරතුරු රැස් කර, අවසානයේදී වඩාත් විනයගරුකව රිය පැදවූ රියදුරන් ඇගයීමට ලක් කිරීමට අපේක්ෂා කෙරේ. කථානායකවරයා මෙම වැඩසටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සිහිපත් කළේ, එයින් විනයගරුක රියදුරන් බිහි වී මිනිස් ජීවිත රැක ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart