ජනාධිපතිවරයාගේ දේශීය ගමන් බිමන් පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකළ ඉල්ලීමක් ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ. විශේෂයෙන් ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරබයා පෞද්ගලික සහ රාජකාරි ගමන් සම්බන්ධ නීතිමය විභාගවීමක් අතරතුර මෙම සිදුවීම වාර්තා වීම දෛවෝපගත ය. ජිනාත් ප්‍රේමරත්න විසින් කරන ලද මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, අදාළ තොරතුරු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු බව සඳහන් කරමිනි. මේ සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනතේ 5(1)(ආ) වගන්තිය යොදාගෙන තිබේ.
ජනාධිපතිවරයෙකුගේ ගමන් බිමන්වල ආරක්ෂාව ඉතා වැදගත් බව සත්‍යයකි. නමුත්, ඉල්ලා සිටින තොරතුරු මොනවාද සහ ඒවායේ ‘සංවේදීතාව’ කුමක්ද යන්න ප්‍රශ්න කිරීමේ අයිතිය ද ජනතාව සතු ය. නිදසුනක් ලෙස, ඔහු අනාගතයේ යෑමට නියමිත ස්ථාන හෝ ගමන් මාර්ග පිළිබඳව තොරතුරු ඉල්ලීම ආරක්ෂාවට තර්ජනයක් විය හැකි වුවත්, දැනටමත් සිදුකර අවසන් ගමන් බිමන් පිළිබඳ තොරතුරු එසේ විය නොහැකි අවස්ථා තිබේ. එම නිසා, සියලුම දේශීය ගමන් තොරතුරු එකම සාධකයකින් සංවේදී යැයි සලකා ප්‍රතික්ෂේප කිරීම සාධාරණ දැයි විමසා බැලිය යුතු ය.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය පාලනය විනිවිදභාවයෙන් සහ වගකීමකින් යුතුව සිදුකරන බවට සහතික කිරීම ය. ජනාධිපතිවරයා යනු රාජ්‍යයේ ඉහළම විධායකය වන අතර, ඔහුගේ දේශීය ගමන් බිමන් සඳහා වැය වන්නේ මහජන මුදල් ය. එම මුදල් වැය වූ ආකාරය පිළිබඳව තොරතුරු ඉල්ලීම, මහජන වගකීමක් ඉටුකිරීමක් ලෙස සැලකිය හැකි ය. එම නිසා, ආරක්ෂාව මූලික කරගෙන සම්පූර්ණ තොරතුරු ප්‍රතික්ෂේප කිරීම පාරදෘශ්‍යභාවය පිළිබඳ අරමුණට හානිකර විය හැකි ය.
ප්‍රතික්ෂේප කිරීමේ ලිපිය මගින් දින 14ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දී තිබේ. මෙය නීතියට අනුව සිදුවන්නක් වුවත්, මූලික ඉල්ලීමම මෙලෙස ප්‍රතික්ෂේප වීම, මෙම ක්‍රියාවලියේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්න මතු කරයි. මහජනයාට අවශ්‍ය වන්නේ තොරතුරු මිස නිරන්තරයෙන් අභියාචනා කිරීමට යෑම නොවේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමේදී තවමත් අභියෝග තිබෙන බව මෙම සිදුවීම මගින් ද පැහැදිලිව පෙනේ. රාජ්‍ය ආයතන, විශේෂයෙන්ම ඉහළම ආයතන, මෙම නීතියේ මූලික අරමුණු අවබෝධ කරගෙන, සුළු හේතූන් මත තොරතුරු ප්‍රතික්ෂේප නොකිරීමට වගබලා ගත යුතු ය. එසේ නොවුණහොත්, මෙම පනත හුදෙක් නීති පොතට පමණක් සීමා වූ එකක් බවට පත් විය හැකි බව ලියා තබමි.