ඊයේ (අගෝස්තු 28) දිනයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවූ අනතුරු සහ අපරාධ හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය වාර්තා කරයි. මෙම මරණවලට මනුෂ්‍ය ඝාතනයක් සහ රිය අනතුරු කිහිපයක් ඇතුළත් වේ.
වළස්මුල්ල, උඩගහවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දීමෙන් 85 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබේ. ඇය නිවසේ තනිවම සිටියදී, රාත්‍රී ආහාර ලබා දී ඇගේ පුතා පිටව ගිය පසු නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අපරාධයට සම්බන්ධ සැකකරු පලා ගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට වළස්මුල්ල පොලිසිය විමර්ශන සිදු කරයි.
මඩකලපුව-කල්මුණ මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 56 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. ඔහු පැදවූ යතුරුපැදිය තවත් යතුරුපැදි දෙකක් ඉස්සර කිරීමට යාමේදී පාලනය ගිලිහී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
රත්නපුර-පානදුර මාර්ගයේ සිදුවූ අනතුරකින් 19 හැවිරිදි යතුරුපැදි කරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු පැදවූ යතුරුපැදියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර-ත්‍රිකුණාමලය මාර්ගයේ සිදුවූ ලොරි රථ අනතුරකින් 10 හැවිරිදි පාසල් සිසුවියක් සහ 23 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ. ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන පාසල් දැරියන් දෙදෙනෙකු සහ නවතා තිබූ යතුරුපැදියක ගැටී අනතුරට පත්ව ඇත. අනතුරින් තුවාල ලැබූ අනෙක් දැරිය සහ ලොරි රථයේ සිටි දෙදෙනෙකු රෝහල් ගත කර ඇත.
ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේදී සිදුවූ බස් රථ අනතුරකින් 41 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. බස් රථයේ පාපුවරුවේ ගමන් කළ ඔහු, බස් රථයෙන් ඇද වැටී එම බස් රථයටම යටවීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
දුම්රියකින් ඇද වැටීමෙන් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නතර කිරීමට පෙර ඔහු බැසීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබේ.
මෙම සියලු සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.