අනුලා සෑයට විහාරාධිපති කෙනෙක් අවශ්‍ය නැහැ – බෙල්ලන්විල විමලරතන නාහිමි

මිහින්තලේ දිග්ගල පිහිටි අනුලා සෑය සම්බන්ධ ප්‍රතිසංස්කරණ කටයුතු විහාරාධිපතිවරයෙකුට හෝ පුද්ගලයකුට පැවරීම නුසුදුසු ක්‍රියාවක් බව බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පවසති.

රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් මහා විහාරස්ථානයේදී 2025.08.28 පැවති මාධ්‍ය හමුවකදී නාහිමියෝ සඳහන් කළේ, ”අනුලා සෑය ලෝක බෞද්ධයාම එකතු කරන මධ්‍යස්ථානයක් බවට ගොඩනගිය යුතු බවත්, එය පුද්ගල අයිතියට පැවරීමෙන් එම අරමුණ විනාශ වන බවත් ය. අනුලා සෑය ප්‍රතිසංස්කරණය කරල ලෝක බෞද්ධයාම එකතු කරන මධ්‍යස්ථානයක් කළ යුතුයි. ඒක පුද්ගලයකුට පැවරීමෙන් එම අරමුණ ඉටුවන්නේ නෑ. ලෝකයේ භික්ෂුණී සමාජයේ බලගතුම මධ්‍යස්ථානය මෙතන කරන්න පුලුවන්. ඒකට පළමුව මේ ස්ථානය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. දැන් ඒක විහාරාධිපති කෙනෙක් පත් කරල අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය කරල තියෙනවා” යැයි බෙල්ලන්විල නාහිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

මෙම අවස්ථාවට සහභාගී වූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ මහා ලේඛකාධිකාරී මාඉටිපේ විමලසාර නාහිමියෝද තම මතය දැක්වීය. ඔහුගේ අදහස වූයේ, අනුලා සෑය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නීත්‍යානුකූලව, නාගානන්ද විශ්වවිද්‍යාලයේ සහයෝගයෙන් ගොඩනගිය යුතු බවයි. “මෙය කඩාකප්පල් නොකිරීමටත්, අභූත චෝදනා මත මැදිහත් නොවීමටත් අවධානය යොමු කළ යුතුය” යැයිද ඔහු අවධාරණය කළේය.

එම මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා ද පැවසුවේ, අනුලා සෑය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් වන අතර එය කිසිවිටත් පුද්ගලයකුට පවරිය හෝ විකිණිය නොහැකි බවයි. 2022දී සොයාගත් අනුලා සෑයේ පුරාවස්තු මේ වනවිට අනුරාධපුරයේ පුරාවස්තු ගබඩාවල තබා ඇති බවත්, ඒවා රජයට අයත් වස්තුවල බවත් ඔහු පැවසීය.

“කණිෂ්ඨතිස්ස රජු විසින් මේ විහාරය සෑදුවේ භික්ෂූන්ගෙන් වෙන්ව භික්ෂූණීන් රැඳවීමේ අරමුණින්. එහෙම තැනක භික්ෂුවක් විහාරාධිපති ලෙස පත් කිරීම ගැටලුකාරී කරුණක්” යැයි මණ්ඩාවල මහාචාර්ය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart