ප්‍රබල පාතාලයෝ 18ක් අල්ලන මෙහෙයුමක්

ඩුබායි රාජ්‍යය ඇතුළු යුරෝපීය රටවල සැඟව සිටිමින් මෙරට විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පාතාල ප්‍රබලයන් 18 දෙනෙකු එම රටවලදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා විමර්ශන අරඹා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම 18 දෙනා සම්බන්ධ තොරතුරු සහ ඔවුන් රැඳී සිටින ස්ථාන පිළිබඳව ද මේ වන විට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට අධීක්ෂණය කරමින් සිටින බවත් එම දෙපාර්තමේන්තු‍ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විදෙස් රටවල සැඟව සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් 75 දෙනෙකු සඳහා රතු වරෙන්තු නිකුත් කර ඇති බවත් ඉන් 4 දෙනෙකු මේ වන විටත් එරට පොලිසි සහ ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන බවත් වාර්තා වේ.

ඔවුන්ට එරෙහි එම රටවල නඩු කටයුතු සිදුවන බැවින් සමහරුන් එරට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් එම විමර්ශන නිම වීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවත් කියැවේ.

කෙසේ වෙතත්, මෙම 18 දෙනා අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ජාත්‍යන්තර පොලිසියේද සහාය ඇතිව විමර්ශන කිරීම සහ සාකච්ඡා පැවැත්වෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මිනිස් ඝාතන, වෙඩි තැබීම්, කප්පම් ගැනීම්, පාතාල ක්‍රියාකාරකම් ආදිය සිදුකොට මෙරටින් පලා ගිය සමහරුන් සිය අඹු-දරුවන්ද එම රටවලට ගෙන්වාගෙන එම රටවල සිට මෙරට විවිධ අපරාධවල නියැළෙති.

කෙසේ වෙතත්, මෙරට පොලිසිය ඉන්දුනීසියානු පොලිසිය සමඟ එක්ව කළ රහසිගත මෙහෙයුමත් සමඟ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් රැසක් ම මේ වන විට බියට පත්ව ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පෙන්වා දේ.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශනය සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart