යාපනයේ චෙම්මනි ප්‍රදේශයේ, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කරන කැණීම්වලින් හමුවූ මිනිස් සිරුරු සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට පස්වන අදියරේ කැණීම් ක්‍රියාත්මක වෙමින් පවතී.
කැණීම්වල පස්වන දිනය වූ අගෝස්තු 29 දින තවත් මිනිස් සිරුරු 10කට අයත් අස්ථි කොටස් සොයාගෙන ඇති බව නිලධාරීහු ප්‍රකාශ කළහ. මේ දක්වා සොයාගෙන ඇති සිරුරු 187න්, 174ක අස්ථි කොටස් ගොඩගැනීම සම්පූර්ණ කර ඇත.
පස්වන අදියරේ කැණීම් කටයුතු අගෝස්තු 25 වැනි දින ආරම්භ වූ අතර, ඒවා සැප්තැම්බර් 7 වැනි දා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම කැණීම් කටයුතු අධීක්ෂණය කරන්නේ යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා විසිනි. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් මේ සඳහා දායක වේ.
කැණීම්වලින් හමුවූ සියලුම ද්‍රව්‍ය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් භාරයේ තබා ඇත.
මෙම කැණීම් මගින් හෙළිදරව් වන කරුණු සම්බන්ධයෙන් රට තුළත්, ජාත්‍යන්තරයේත් දැඩි අවධානයක් යොමුවී ඇත.