නඩු භාණ්ඩ ගොඩගැසීම ගැන අධිකරණ සේවයෙන් නියෝග

 

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ, මෙම වසරේ දෙසැම්බර් 31 වන දිනට පෙර නිෂ්කාශනය කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලුම දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ මහාධිකරණ විනිසුරුවරුන් වෙත දැනුම් දී තිබේ.

අධිකරණවල පවතින නඩු භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමෙන් පසු, ඒවා කඩිනමින් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස කොමිෂන් සභාව විනිසුරුවරුන්ට උපදෙස් දී ඇත. අධිකරණවල පරිපාලනමය වගකීම දරන විනිසුරුවරුන් ඇතුළු අදාළ සියලුම නිලධාරීන් මෙම කාර්යයට සෘජුවම වගකිව යුතු බව කොමිෂන් සභාව අවධාරණය කරයි.

නඩු භාණ්ඩ නිෂ්කාශනය පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානීය පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, මාසික ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද සියලු විනිසුරුවරුන් වෙත දැනුම් දී ඇත.

මෙම කටයුත්ත නිසි පරිදි සිදු නොකරන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවද කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත. නඩු භාණ්ඩ පිළිබඳ නිවැරදි වාර්තා සැකසීම සහ ඒවා නිෂ්කාශනය කිරීම, සියලු අධිකරණ කාර්ය මණ්ඩලයේ පුද්ගලික මෙන්ම සාමූහික වගකීමක් බවද එහිදී පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart