කරන්නාගොඩගේ පොත එංගලන්තයේ තහනම්

ලොව විශාලතම මාර්ගගත අලෙවි වේදිකාවක් වන ඇමසන් (Amazon) සමාගමේ එක්සත් රාජධානියේ ශාඛාව විසින්, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ ස්වයං චරිතාපදාන ග්‍රන්ථයක් වන ‘The Turning Point: The Naval Role in Sri Lanka’s War on LTTE Terrorism’ එරටදී අලෙවි කිරීම නවතා දැමීමට කටයුතු කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (International Truth and Justice Project) විසින් ඇමසන් සමාගමේ රාජ්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට කරන ලද දැනුම්දීමකට ප්‍රතිචාර වශයෙනි.

එහිදී, ඔවුන් පෙන්වා දී ඇත්තේ කරන්නාගොඩ මහතාට එංගලන්ත රජය විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් මෙම ග්‍රන්ථය අලෙවි කිරීම එරට සම්බාධක නීති උල්ලංඝනය කිරීමක් වන බවයි.

බ්‍රිතාන්‍ය සම්බාධකවලට යටත් පුද්ගලයකුට රාජකීය මුදල් ඇතුළු සම්පත් ලබා දීම, වසර හතක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි අපරාධ වරදක් ලෙස එරට නීතියේ දැක්වේ.

පසුගිය මාර්තු 24 වන දින බ්‍රිතාන්‍ය රජය විසින් ගෝලීය මානව හිමිකම් සම්බාධක රෙගුලාසි 2020 යටතේ වසන්ත කරන්නාගොඩ ඇතුළු ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුට සම්බාධක පනවන ලදී.

2005 – 2009 කාලය තුළ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරද්දී නීතිවිරෝධී ඝාතන ඇතුළු මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවූ බවට එල්ල වන චෝදනා හේතුවෙන් මෙම සම්බාධක පැනවීමට එරට රජය තීරණය කළේය.

කරන්නාගොඩ මහතාගේ මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත්තේ බ්‍රිතාන්‍යය පදනම් කොටගත් ලොව විශාලතම ඉංග්‍රීසි පොත් ප්‍රකාශන ආයතනයක් වන පෙන්ගුයින් රැන්ඩම් හවුස් ඉන්ඩියා (Penguin Random House India) ආයතනය විසිනි.

ඇමසන් සමාගම මෙම ග්‍රන්ථය අලෙවියෙන් ඉවත් කර ඇති බවට ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතියට ලිඛිතව දැනුම් දී ඇති බව එම ව්‍යාපෘතිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart