ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා සඳහා පැනවීමට නියමිතව තිබූ වැට් බද්ද ලබන වසරේ අප්‍රේල් 01 වැනිදා දක්වා කල් දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අගය මත බදු (සංශෝධන) පනත මඟින්, 2025 ඔක්තෝබර් 01 වැනිදා සිට නිර්වාසික (non-resident) පුද්ගලයන් විසින් සපයනු ලබන ඩිජිටල් සේවා සඳහා වැට් බද්ද අය කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, මෙම නීතියට අනුකූල වීමට සූදානම් වීම සඳහා අමතර කාලයක් ලබා දෙන ලෙස නිර්වාසික ඩිජිටල් සේවා සපයන්නන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
මෙම වැට් බද්ද සයිබර් ආරක්ෂණ, මෘදුකාංග, ඩිජිටල් ප්‍රචාරණ, ඊ-වාණිජ්‍යය, සමාජ මාධ්‍ය වේදිකා සහ ඔන්ලයින් වෙළෙඳපොළ ඇතුළු බොහෝ ඩිජිටල් සේවාවන් සඳහා බලපැවැත්වෙනු ඇත. බදු අය කිරීමේ දිනය කල් දැමීම සඳහා අවශ්‍ය සංශෝධන දැනටමත් කෙටුම්පත් කරමින් පවතින බව රජය පවසයි.
මේ අතර, ඩිජිටල් සේවා සඳහා බදු පනවන රටවලට ‘අමතර තීරු බදු’ පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය සතියේදී ප්‍රකාශ කර තිබීම මෙම කල් දැමීමට බලපාන්නට ඇතැයි මත පළ වේ.