සීමාවාසික පුහුණුව අවසන් කළ දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන්ට කඩිනමින් පත්වීම් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (08) ප්‍රකාශ කළේය.
මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ, දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනෙකු සඳහා සීමාවාසික පුහුණුවට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේදීය. මෙම උත්සවය කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ක්‍රමානුකූලව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙම පත්වීම් ප්‍රදානය සිදු කර තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන්ට විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ සේවය කර පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව සැලසීම දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ නව ක්‍රමවේදයක් බවයි. මෙම සීමාවාසික පුහුණුව ලබාදෙන්නේ, දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යාපනය පුළුල් කිරීමටත්, අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමටත්, සායනික ධාරිතාවය වැඩි කිරීමටත්ය.
රටේ ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සඳහා සෑම ක්ෂේත්‍රයක්ම විද්‍යාත්මකව හා සැලසුම් සහගතව මෙහෙයවීමට මේ වන විට නව සැලසුම් සකස් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. 2019 වසරේ සිට දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පුහුණුව ඇතුළත් කර ඇති බවත්, ඉදිරියේදී සීමාවාසික පුහුණුව අවසන් කර සිටින අයට කඩිනමින් පත්වීම් ලබාදීමට පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.