හරක් කටාව රැඳවුම් භාරයේ තැබීමට නියෝග

 

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා ලබා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා නඩු විභාගය අවසන් වන තෙක් රඳවා තබා ගැනීමට නියෝග කර ඇතැයි නීතිපතිවරයා අද (08) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝගයකට අනුව මෙම තීරණය ගෙන ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණයට දැන්වීය.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකරන ලදී. මීට පෙර, රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා තිබුණේ විත්තිකරුට එරෙහිව පනවා තිබූ රැඳවුම් නියෝගය අවසන් වූ පසු ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි.

කෙසේ වෙතත්, විත්තිකරුගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් ඔහු රැඳවුම් භාරයේ තවදුරටත් රඳවා ගැනීමට ආරක්ෂක ලේකම්වරයා තීරණය කර ඇති බව අද දිනයේදී රජයේ නීතිඥවරයා අධිකරණයට දැන්වීය.

මෙම තීරණයට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා දැඩි විරෝධය පළ කළේය. සිය සේවාදායකයා වසර දෙකකට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටි බවත්, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතව සිටියදී යළිත් නඩු අවසන් වන තෙක් රැඳවුම් නියෝග මත රඳවා ගැනීම යුක්ති සහගත නොවන බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව, හරක් කටා නමැත්තා තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ තවදුරටත් රඳවා ගැනීමට නියමිතය.

නඩු විභාගය සඳහා හරක් කටා සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළ අතර, වැඩිදුර නඩු විභාගය සැප්තැම්බර් 24 වැනි දින දක්වා කල් තබන ලදී. මෙම නඩුවේ අනෙකුත් විත්තිකරුවන් සිව්දෙනාද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් මීළඟ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart