රත්ගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කසළ ඉවත් කිරීම විධිමත් කිරීම සඳහා නව අය ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව ව්‍යාපාරික ස්ථාන සංචාරක හා නිවාඩු නිකේතන හෝටල් මෙන්ම ආපන ශාලා වලින් මුදල් අය කිරීමට කටයුතු කරන බවත් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති පී. එච්. දුලාජ් තරංග මහතා පැවසීය.
ඒ අනුව ව්‍යාපාරික ස්ථාන වලින් බදු අය කිරීමටත් ව්‍යාපාරයේ ස්වභාවය හා ඉඩ ප්‍රමාණය අනුව කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා මසකට රුපියල් 2000ක්ද මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා රුපියල් 5000 ක් ද විශාල පරිමාණයේ ව්‍යාපාර සඳහා රුපියල් 15,000ක්ද වශයෙන් නීති රාමුව තුළ මෙම අය කිරීම් කිරීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් පැවසීය.
එමෙන්ම මෙම ක්‍රම වේදය යටතේ නිසි කළමනා කරණයකින් යුක්තව කසළ එකතු කිරීම සිදුවන බවත්, මෙතෙක් එක් දිනක් පමණක් කසළ එකතු කරන ප්‍රදේශ වල දින 02ක් කසළ එකතු කිරීමටත් මින් ඉදිරියට ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිංතොට සිට ඌරවත්ත පාලම දක්වා සතියේ දින හයක් කසළ එකතු කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මොන්රෝලියා වත්ත කසළ ප්‍රතිචක්‍රිකරණ ස්ථානය මීට වඩා ක්‍රමවත්ව සකස් කර වැඩි ප්‍රමාණයක් කසළ ලබා ගැනීමට අවධානය යොමු වී ඇති බවද ඔහු පැවසීය.