නවීකරණ කටයුතු හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ අද (11 වැනිදා) සිට මාස අටක කාලයකට වසා දැමීමෙන් එම බස් නැවතුම්පළේ සිට ධාවනය වන සියලුම බස්රථ කොළඹ බැස්ටියන් මාවත සහ බෝධිරාජ මාවතේ පිහිටි රථගාලක් ආසන්නයේ සිට ධාවනයේ යෙදවෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරියකු සදහන් කළේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට අනුව ගුවන් හමුදාව විසින් මෙහි නවීකරණ හා ප්‍රතිසංස්කරණ කටයුතු භාරගෙන ඇති බවයි.
මෙම බස් නැවතුම්පළ පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්කොට ලබන අප්‍රේල් මාසයේදී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත භාරදීමට නියමිතව ඇතැයිද එම නිලධාරියා කීවේය.
මාර්ග අංක 87 ධාවනය වන යාපනය, පුත්තලම, වව්නියාව, අනුරාධපුර ඇතුළු ගමනාන්තයන් කරා පිටත් වන බස්රථ කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි අන්තර් පළාත් බස් නැවතුම්පළේ සිට ඒකාබද්ධ කාලසටහනට අනුව ධාවනය කෙරේ.
මීට අමතරව සෙසු ගමනාන්ත දක්වා ධාවනය කරන බස්රථ පිටකොටුව බෝධි රාජ මාවතේ පිහිටි බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බස් නැවතුම්පළ ආසන්නයේ පිහිටි ස්ථානයකින් ගමන් ආරම්භ කෙරෙන අතර මෙම ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලක්ද බස් නැවතුම්පළේ පරිපාලන කටයුතු සඳහා යොදාගෙන ඇත.
කෙසේ වෙතත් ඊයේ සවස් වනතෙක් සියලුම ගමන් මාර්ගවලට අදාළ බස්රථ ගාල් කරන ස්ථානවලට සවිකරන පුවරු සවිකිරීමට නොහැකි වූ ආකාරයද පෙනී ගියේය. මේ සම්බන්ධයෙන් ලංගම නිලධාරින්ගෙන් කළ විමසීම්වලදී කියා සිටියේ ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාලයෙන් ඒ වනවිටත් පුවරු නොලැබුණු බවය.
ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රකාශකයකු පැවසුවේ මේ වනවිට විදුලි සැපයුම් හා අනෙකුත් කටයුතු සිදුවෙමින් පවතින බවත් මේ සති අන්තයේ සිට අපහසුතාවකින් තොරව සේවාවක් සැපයීමට හැකිවනු ඇති බවත්ය.
බස්රථ සඳහා වෙන්කරන ලද බෝධිරාජ මාවතේ ස්ථානය අවට බහුලව භාණ්ඩ ප්‍රවාහන ලොරී රථ ගාල් කෙරෙන ස්ථානයක් වීම හා වෙනත් වාහනද වැඩි වශයෙන් ධාවනය වන ස්ථානයක් වීම මත කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේ කොටසක් බස්රථ සඳහා ධාවනය සඳහා යොදාගන්නා ලෙස ලංගම බලධාරින් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිට ඇති බවද ඊට එකඟත්වයද අමාත්‍යාංශය යොමු කර සිටියදී පෙරේදා (09 වැනිදා) එකවරම බස් නැවතුම්පළ මුළුමනින්ම වසා දැමීමට අමාත්‍යාංශයෙන් උපදෙස් ලැබුණු බවද ලංගම ප්‍රධානීන් සඳහන් කර සිටියි.