2026 වර්ෂය සඳහා අවශ්‍ය වන සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජය එකඟ වී තිබේ. මෙමගින් රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404 දෙනෙකුට ප්‍රතිලාභ ලැබෙනු ඇත.
ඊට අදාළ එකඟතා සහතික හුවමාරු කිරීමේ නිල උත්සවය අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ (11) පැවැත්විණි. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ මෙරට චීන තානාපති Qi Zhenhong මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
උත්සවයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සහ චීන තානාපති Qi Zhenhong මහතා අතර එකඟතා සහතිකය හුවමාරු කර ගන්නා ලදී.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, 2025 වසර සඳහා රුපියල් බිලියන 5.17කට අධික වටිනාකමින් යුත් රෙදි මීටර් මිලියන 11.82ක් චීනය විසින් ලබා දුන් බව සිහිපත් කළේය. එමගින් සිසුන් මිලියන 4.6කට අධික පිරිසකට ප්‍රතිලාභ සැලසුණු බවත්, 2026 වසරටත් එවැනිම දායකත්වයක් ලබා දීම අගය කරන බවත් ඔහු පැවසීය.