‘අපේ ජනබල’ පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇප මත මුදා හැරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය විජේසිංහ මහතා අද (12) නියෝග කළේය.
ඒ අනුව, රතන හිමිට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් නියම කර තිබේ.
මීට අමතරව, උන්වහන්සේගේ විදෙස් ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අධිකරණය මඟින් වරෙන්තු ලබා සිටි රතන හිමියන් පසුගිය 29 වන දින නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීම සඳහා පක්ෂයේ මහලේකම් හිමියන් පැහැරගෙන ගිය බවට උන්වහන්සේට චෝදනා එල්ල වී තිබුණි.