රුපියල් මිලියන 210කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් හොර රහසේ රැගෙන යමින් සිටි කටුනායක ගුවන්තොටුපොළ ප්රධාන ආරක්ෂක නිලධාරියෙකු අද (14) උදෑසන රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 54 හැවිරිදි මීගමුව, කඳවල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සිවිල් ගුවන් ආරක්ෂක සේවා සංවිධානයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන බව වාර්තා වේ.
සැකකරු, කැරට් 24 රන් බිස්කට් 51ක් විශේෂ වෙළුම්පටි යොදා තම පාදවල සඟවා, මේස්වලින් ආවරණය කරගෙන ගුවන්තොටුපොළෙන් පිටව යන අවස්ථාවේදී අද උදෑසන 6.50ට පමණ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් රන් තොගයේ බර කිලෝග්රෑම් 5.941ක් වන අතර, රේගු නිලධාරීන් සැක කරන්නේ මෙම රන් තොගය යම් පුද්ගලයෙකු විසින් ගුවන්තොටුපළින් පිටතට රැගෙන යාම සඳහා ඔහුට භාර දී ඇති බවත්, ඔහු දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන යන්නට ඇති බවත් ය.
සැකකරු මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්ගේ භාරයේ සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.