ඉදිරි වසර තුනක කාලය තුළ දිවයින පුරා සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000ක් පිහිටුවීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙම නව මධ්‍යස්ථාන මගින් රෝග පූර්ව හඳුනා ගැනීම, ප්‍රතිකාර සඳහා යොමු කිරීම සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කිරීම වැනි සේවාවන් ජනතාවට සමීපව ලබාදීමට අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් ලෙස, එළඹෙන සැප්තැම්බර් 26 වන දින සිට දිස්ත්‍රික්ක පහක මධ්‍යස්ථාන 10ක් ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනට එක්වෙමිනි.
මෙම වසර තුළදී සෞඛ්‍ය මධ්‍යස්ථාන 100කට මුල්ගල තැබීමට කටයුතු කරන බවත්, වසර තුනක් තුළදී මධ්‍යස්ථාන දහසක් මගින් ජනතාවට සේවය සැපයීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සෞඛ්‍ය අභියෝගය වී ඇත්තේ බෝ නොවන රෝග බවත්, ඒ සඳහා පිළියම් ලෙස සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටුවීම සහ ජංගම සායන පැවැත්වීම ඉතා වැදගත් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. බොහෝ දෙනෙක් රෝග පරීක්ෂණ සඳහා යොමු වුවද, ප්‍රතිකාර අඛණ්ඩව පවත්වාගෙන යන්නේ සුළු පිරිසක් බවද ඔහු පෙන්වා දුන්නේය.
ඉදිරි වසර කිහිපය තුළ මෙරට ජනගහනයෙන් 25%ක් වැඩිහිටි ජනතාව බවට පත්වන බැවින්, ඔවුන්ගේ පෝෂණ තත්ත්වය, මානසික සෞඛ්‍යය සහ ග්‍රාමීය මට්ටමින් සෞඛ්‍ය සේවා ලබාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා අවසන් වශයෙන් සඳහන් කළේය.