බංග්ලාදේශයට එරෙහිව ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක්

 

ඊයේ (13) අබුඩාබිහිදී පැවති ආසියානු කුසලාන විස්සයි20 තරඟයෙන් බංග්ලාදේශය පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කළා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මුලින්ම පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළ අතර, නුවන් තුෂාර පළමු පන්දුවාරයේදීම ආරම්භක කඩුල්ල බිඳ දමමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග සහ කමිල් මිෂාරගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ කණ්ඩායම මුල් පන්දු 53ක් ඇතුළත කඩුලු 5ක් දැවී අසරණ වුණා.

කෙසේ වෙතත්, ජේකර් අලි සහ සමීම් හොසේන්ගේ පිති හරඹය නිසා බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 139ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු 140ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පැතුම් නිස්සංකගේ අර්ධ ශතකය සහ කමිල් මිෂාරගේ නොදැවී ලකුණු 46ක ඉනිම මත පදනම්ව පන්දුවාර 14යි පන්දු 4කදී ජය වාර්තා කළා.

මෙම තරඟයේදී ලකුණු 50ක් ලබාගත් පැතුම් නිස්සංක, ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ ලකුණු 2,000 සීමාව පසු කළ තුන්වන ශ්‍රී ලාංකිකයා බවට පත්වුණා.

අබුඩාබිහිදී දෙරට අතර පැවති මෙය ප්‍රථම විස්සයි20 තරඟය වන අතර, මීට පෙර සාජා සහ ඩුබායි හිදී පැවති තරඟ දෙකද ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙනවා. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ‘B’ කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart