84වන පොලිස් මලල ක්‍රීඩා උළෙල සාර්තකව අවසන්

 

ශ්‍රී ලංකා පොලීසියේ ක්‍රීඩා කෞශල්‍යය ඔප්නැංවීම වෙනුවෙන් සංවිධානය කරන ලද 84 වන පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙල, සැප්තැම්බර් 14 වනදා බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය. පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම ක්‍රීඩා උළෙල, සැප්තැම්බර් 12 වනදා ආරම්භ විය.

මෙම උත්සවයේ සමාප්ති උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ගරු අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මැතිණිය සහභාගී වූ අතර, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද එක්ව සිටියහ.

ක්‍රීඩා උළෙලේ අවසන් තරඟ, ආරාධිත පාසල් තරඟ සහ කඹ ඇදීමේ තරඟ පැවැත්වීමෙන් පසු ජයග්‍රාහකයන්ට කුසලාන සහ පලිහ ප්‍රදානය කිරීම ආරම්භ විය. එහිදී ප්‍රධාන ජයග්‍රහණ පහත පරිදි වේ:

හොඳම ආචාර පෙළපාලිය – ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය.

දක්ෂතම පිටපළාත් කණ්ඩායම – කුරුණෑගල කොට්ඨාසය (ලකුණු 63).

සමස්ත කාන්තා ශූරතාවය – පොලිස් විශේෂ කාර්ය බලකා කාන්තා කණ්ඩායම (ලකුණු 80).

සමස්ත පිරිමි ශූරතාවය – පොලිස් විශේෂ කාර්ය බලකා පිරිමි කණ්ඩායම (ලකුණු 222).

සමස්ත අනුශූරතාවය – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (ලකුණු 97).

සමස්ත ශූරතාවය – පොලිස් විශේෂ කාර්ය බලකාය (ලකුණු 302).

දක්ෂතම මලල ක්‍රීඩිකාව (සමස්ත) – කාන්තා පොලිස් කොස්තාපල් බී.ජී. සචිත්‍රා හර්ෂණී (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව).

දක්ෂතම මලල ක්‍රීඩකයා (සමස්ත) – පොලිස් කොස්තාපල් ඩී.ජී.එස්. විජේතුංග (පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය) ඇතුළු තිදෙනෙක් සම ලකුණු ලබා ගත්හ.

ක්‍රීඩා උළෙල අවසානයේ, අග්‍රාමාත්‍යතුමිය විසින් සමස්ත ශූරතාවය දිනාගත් පොලිස් විශේෂ කාර්ය බලකායට ජනාධිපති කුසලානය පිරිනමන ලදී. මෙම උළෙල සාර්ථක කර ගැනීම සඳහා පොලිස් නිලධාරීන් සහ අදාළ පාර්ශ්ව රැසකගේ දායකත්වය හිමි විය.

Add to cart