හම්බන්තොට මාර්ගයේ සේදවත්ත ප්රදේශයේදී මාරක යතුරුපැදි අනතුරක් සිදුව තිබේ. වීරවිල දෙස සිට පන්නේගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදි දෙකෙහිම රියදුරන් දෙදෙනා සහ පසුපැදිකරුවන් දෙදෙනෙකු තුවාල ලබා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමේදී, එක් යතුරුපැදි කරුවෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. මියගිය පුද්ගලයා අවුරුදු 25ක් වන වැලිමඩ ප්රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙක් වන අතර අනෙක් යතුරුපැදි කරුවා වැඩිදුර ප්රතිකාර සඳහා මාතර රෝහල වෙත මාරු කර යවා තිබේ.
මියගිය සෙබලාගේ මෘත ශරීරය දෙබරවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වීරවිල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අද (2025 සැප්තැම්බර් 16) අලුයම, මොරගහහේන පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අන්තර් හුවමාරු ස්ථාන අතරදී තවත් මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා. ගාල්ල දෙස සිට කඩවත දෙසට ධාවනය වූ වෑන් රථයක්, ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු ඇතුළු අට දෙනෙක් ගමන් කර තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ පිරිස හෝමාගම සහ කළුබෝවිල රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, හෝමාගම රෝහලට ඇතුළත් කළ කාන්තාවක් මියගොස් ඇත. ඇය අවුරුදු 35ක් වයසැති වීරපාන ප්රදේශයේ පදිංචිකාරියක් බවට හඳුනාගෙන ඇත.
මියගිය කාන්තාවගේ මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මේ පිළිබඳව මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.