විදුලිය හෙට හා අනිද්දා ලෙඩවෙයි

 

ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) සේවකයන් විසින් හෙට (සැප්තැම්බර් 17) සහ අනිද්දා (සැප්තැම්බර් 18) යන දිනවල අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බැවින්, රටේ විදුලි සැපයුමට බාධා ඇති වීමේ අවදානමක් මතුව තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම්වලට මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

විදුලි වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ (සැප්තැම්බර් 15) රැස්ව මෙම තීරණයට එළඹී තිබෙනවා. පසුගිය සැප්තැම්බර් 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක පමණ කාලයක් පැවති “අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් තීව්‍ර කරමින් මෙම පියවර ගෙන තිබෙනවා.

මේ වනවිටත්, අද (සැප්තැම්බර් 16) සිට පස්වරු 4න් පසු සිදුවන විදුලිය බිඳවැටීම් යථාවත් කිරීමේ රාජකාරිවලින්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට සහභාගී නොවීමෙන් සහ ටෙන්ඩර් කමිටුවලින් ඉවත් වීම වැනි බාහිර කටයුතුවලින් ඉවත් වීමට ඔවුන් තීරණය කර ඇති බව ලංවිම කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවා.

සම්පූර්ණ සේවක සංඛ්‍යාව වන 21,800ක් පමණ වන ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු සියලු සේවකයන්, කණ්ඩායම් දෙකකට බෙදී ලෙඩ නිවාඩු වාර්තා කරමින් මෙම දින දෙකේදී ලංවිම මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා.

පාරිභෝගිකයන්ට ඇතිවිය හැකි අපහසුතා සැලකිල්ලට ගනිමින්, ඔවුන් කණ්ඩායම් දෙකකට බෙදී මෙම ක්‍රියාමාර්ගය ගත් බවත්, තම ඉල්ලීම්වලට තවදුරටත් සාධනීය ප්‍රතිචාර නොලැබුණහොත් වැඩවර්ජනයක් දක්වා මෙම ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සිදුවන බවත් වෘත්තීය සමිති නියෝජිතයන් අනතුරු අඟවනවා.

Add to cart