වසන්තගෙන් යළි කරළියට ආ CryptoCurrency

ඩිජිටල් තාක්ෂණය දියුණු වීමත් සමඟම, ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) පිළිබඳව ඔබට අසන්නට ලැබෙනවා. අද වන විට සමාජ මාධ්‍ය හරහා ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධනය කිරීම, ඒ සම්බන්ධයෙන් වන වෙළඳාම් (trading), සහ පුහුණු වැඩසටහන් බහුලව දක්නට ලැබෙනවා. මේ අතර, Statista ආයතනය පුරෝකථනය කරන්නේ 2025 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් වත්කම් වෙළඳපොළ ඇමරිකානු ඩොලර් මිලියන 62.6ක ආදායමක් ලබනු ඇති බවයි.

මෙවැනි පසුබිමක් තුළ, ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල්වල නීත්‍යානුකූල තත්ත්වය සහ ආයෝජනයේ අවදානම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත්.

ක්‍රිප්ටෝ මුදල් යනු කුමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, ක්‍රිප්ටෝ මුදල් යනු රටක මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පෞද්ගලිකව ජනනය කරන ලද, අතථ්‍ය මුදල් වර්ගයක්. මේවා ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) වැනි තාක්ෂණික ක්‍රම මගින් ක්‍රියාත්මක වන ඩිජිටල් වත්කම්.

බොහෝ දෙනා විශ්වාස කළත්, ක්‍රිප්ටෝ මුදල් භෞතිකව පරිහරණය කළ නොහැකියි. ඒවා එදිනෙදා භාවිත කරන මුදල් මෙන් ගනුදෙනු සඳහා භාවිත නොකරන අතර අන්තර්ජාලය හරහා පමණක් ගනුදෙනු සිදු කිරීමට අවස්ථාව ලැබෙනවා. Bitcoin (BTC), Ethereum (ETH), Tether (USDT), Binance Coin (BNB) සහ USD Coin (USDC) යනු මේ සඳහා උදාහරණ කිහිපයක්.

ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල තත්ත්වය

ලෝකයේ බොහෝ රටවල්, විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් ක්‍රිප්ටෝ මුදල් වලංගු මුදල් ඒකකයක් ලෙස පිළිගන්නා අතර, ශ්‍රී ලංකාව තුළ තත්ත්වය ඊට වෙනස්.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ක්‍රිප්ටෝ මුදල් වලංගු මුදල් (Legal Tender) ලෙස හෝ පිළිගත් වත්කමක් ලෙස නොසලකන බවයි. එමෙන්ම, ඒවා භාවිතය සඳහා මෙරට තුළ කිසිදු නියාමන ආරක්ෂාවක් පවතින්නේ නැහැ.

විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු සඳහා හර කාඩ්පත් (Debit Cards) හෝ ණය කාඩ්පත් (Credit Cards) වැනි ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම භාවිත කිරීමට ද අවසර නැහැ.

මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, “ලංකාව තුළ ක්‍රිප්ටෝකරන්සි භාවිතය නීත්‍යනුකූල නැහැ” යනුවෙනුයි. එසේම, මෙම ක්‍රිප්ටෝ මුදල් මුදල් විශුද්ධිකරණය (money laundering) වැනි නීති විරෝධී කටයුතු සඳහා බහුලව භාවිත වන බව ද ඔහු පෙන්වා දුන්නා.

ක්‍රිප්ටෝ මුදල් ආයෝජනයේ අවදානම්

ක්‍රිප්ටෝ මුදල් යනු ඉතා ඉහළ අවදානමක් සහිත, අස්ථාවර වත්කමක්. බොහෝ අවස්ථාවල ක්‍රිප්ටෝ වෙළෙඳපොළේ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යෑම සහ පහළ යෑම සිදු විය හැකි අතර, මෙය ආයෝජකයන්ට විශාල මූල්‍ය පාඩු ඇති කිරීමට හේතු විය හැකියි.

මහ බැංකුව අවස්ථා කිහිපයකදී ම මේ පිළිබඳව මහජනතාවට අනතුරු ඇඟවූවා. “ක්‍රිප්ටෝකරන්සිවල ආයෝජනය කරපු අයට මේක අඩු වැඩි වීම නිසා තමන්ගේ මුදල් නැති වෙලා තියෙනවා. වංචාවලට අහුවෙලා තියෙනවා,” යනුවෙන් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

වංචනික ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ද බහුලව දක්නට ලැබෙනවා. අධික ලාභ පොරොන්දු වී මුදල් ලබා ගැනීම, වංචනික ක්‍රිප්ටෝ ව්‍යාපෘතිවලට ආයෝජනය කිරීමට පොළඹවා ගැනීම වැනි ක්‍රියාවන් මේ අතර ප්‍රධානයි.

ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ කිසිදු ක්‍රියාවක් සඳහා, එනම් මුදල් ජනනය කිරීම (mining), හුවමාරුව (exchange), තැන්පතු භාර ගැනීම හෝ ආයෝජන උපදේශන සේවා සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු බලපත්‍රයක් හෝ අවසරයක් ලබා දී නැහැ.

මෙවැනි නීත්‍යානුකූල සහ මූල්‍යමය අවදානම් මධ්‍යයේ වුවත්, සමහර පුද්ගලයන්, දේශපාලඥයන් පවා, ක්‍රිප්ටෝ මුදල්වලින් උපයාගත් ආදායම් වත්කම් ලෙස ප්‍රකාශ කිරීම වැනි සිදුවීම් අපට දැකගත හැකියි. මේ නිසා, ක්‍රිප්ටෝ ආයෝජන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් ක්‍රියා කිරීම වැදගත්.

බී.බී.සී. සිංහල වෙබ් අඩවියේ පල වූ ලිපියක කරුණු ඇසුරිනි.

Add to cart