දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 10වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (10) නියම කළේය.
2013 වසරේ සැප්තැම්බර් මස 21 සහ ඔක්තෝබර් මස 24 වනදා දක්වා කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රු. 494,000ක මුදලක් හලාවත පිහිටි බැංකුවක ගිණුමකට බැර කරන ලෙස සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් බලපෑම් කිරීම හා පෙළඹවීම තුළින් අල්ලස් පනත යටතේ ‘දූෂණය’ නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර ඇත.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පැමිණිල්ල සහ විත්තියේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී සිටියේ, මෙම නඩුකරයට අදාළ ලේඛනවල මුල් පිටපත් පරීක්ෂා කිරීමට අවශ්‍ය බවය.
ඒ අනුව අදාළ ලේඛන පරීක්ෂා කිරීමට විනිසුරුවරයා පාර්ශවකරුවන්ට අවසර ලබාදුන්නේය.
ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ විනිසුරුවරයා, නඩු විභාගය දෙසැම්බර් මස 10 වනදා පැවැත්වීමට දින නියම කළේය.

