කෙහෙළිය පවුලෙන් ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිශ්ප්‍රභයි

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබේ.

රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම් මගින් ඉල්ලා තිබුණේ, මහාධිකරණයේ වත්කම් තහනම් කිරීමේ නියෝගය බල රහිත කරන ලෙස නියෝග කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව, ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් විසින් මෙම නියෝගය නිකුත් කරමින් පෙත්සම් නිශ්ප්‍රභ කර ඇත.

මේ අනුව, අල්ලස් කොමිසමේ විමර්ශනයට අදාළව කොළඹ මහාධිකරණය විසින් පනවා ඇති වත්කම් තහනම් කිරීමේ නියෝගය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත.

Add to cart