අද හවස රාවල්පින්ඩි වල ශ්‍රී ලංකා – පකිස්තාන සටනක්

සංචා­රක ශ්‍රී ලංකා පිල හා පාකි­ස්තා­නය අතර පළමු එක්දින තර­ගය ශ්‍රී ලංකා වේලා­වෙන් අද පස්වරු 3ට රාව­ල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වෙයි. ශ්‍රී ලංකාව හා පාකි­ස්තා­නය අතර රාව­ල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී එක්දින තර­ග­යක් පැවැ­ත්වෙන්නේ වසර 30කට පසුව වීම විශේ­ෂ­ත්ව­යකි.

අව­සන් වරට ශ්‍රී ලංකාව හා පාකි­ස්තා­නය 1995 ඔක්තෝ­බර් 30 වැනිදා අර්ජුන රණ­තුං­ගගේ හා රමීස් රාජාගේ නාය­ක­ත්ව­යෙන් රාව­ල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී එක්දින තර­ග­යක් පවත්වා ඇති අතර, එයින් ශ්‍රී ලංකා පිල කඩුලු 4ක ජයක් ලබා ගත්තේය.

රාව­ල්පින්ඩි පාකි­ස්තා­නයේ අග­නු­වර වන ඉස්ලා­මා­බාද්ට යාබ­දව පිහිටා ඇති අතර, එය උතුරු පන්ජා­බයේ ප්‍රධාන වාණිජ හා කාර්මික මධ්‍ය­ස්ථා­නය ලෙස සල­කනු ලබන අතර, පාකි­ස්තා­නයේ සිවු­වන වැඩිම ජන­ග­හ­න­යක් සහිත නග­රය ද වේ.

වසර 1992 සිට මේ දක්වා මෙම ක්‍රීඩාං­ග­ණ­යේදී එක්දින තරග 27ක් පවත්වා ඇති අතර, එයින් පාකි­ස්තා­නය තරග 16ක් ජය­ගෙන ප්‍රති­වාදී කණ්ඩා­යම් තරග 10ක් හා එක් තර­ග­යක් සම තත්ත්ව­යෙන් නිමා­වට පත්ව තිබේ. ශ්‍රී ලංකාව රාව­ල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී එක්දින තරග 3කට සහ­භා­ගිවී තරග දෙකක් ජය­ගෙන ඇත. මෙහි පැවති පෙර තර­ග­ව­ලින් 80%කට ආසන්න ප්‍රමා­ණ­යක් පළ­මුව පන්දු යවන කණ්ඩා­යම් ජය­ග්‍ර­හ­ණය කර ඇති බැවින්, කාසියේ වාසිය තීර­ණා­ත්මක කාර්ය­භා­ර­යක් ඉටු කළ හැකිය.

ශ්‍රී ලංකා පිල අව­සන් වරට සහ­භාගි වූ එක්දින තර­ගා­ව­ලි­යේදී 2-0ක් ලෙස සිම්බාබ්වේ පරදා සිටින අතර, පාකි­ස්තා­නය මෙයට දින තුන­කට පෙර දකුණු අප්‍රි­කාව 2-1කින් පරා­ජය කොට සිටී. එබැ­වින් දෙපි­ලම ජය­ග්‍රාහී මන­ස­කින් යුතුව තරග 3කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය ආරම්භ කරනු ඇත.

පාකි­ස්තා­නය පෙර තර­ගා­ව­ලි­යට වඩා ඔවුන්ගේ සංචි­තයේ එක් වෙන­සක් සිදු­කර ඇති අතර, දකු­ණත් පිති­කරු හසන් නවාස් ශ්‍රී ලංකා­වට එරෙහි සංචි­ත­යෙන් නිද­හස් කර ඇත. 23 හැවි­රිදි හසන් නවාස්ට එරට ප්‍රමු­ඛ­තම පළමු පෙළ තර­ගා­ව­ලිය වන ක්වායිඩ්-ඊ-අසාම් කුස­ලා­න­යට සහ­භාගී වන ලෙස දැනුම්දී ඇත. හසන් වෙනු­වට පාකි­ස්තාන එක්දින සංචි­ත­යට ආදේ­ශ­ක­යෙකු නම් කර නොමැති අතර, වමත් පිති­කරු ෆකාර් සමාන් ශ්‍රී ලංකා­වට එරෙහි විස්සයි20 තුන්කොන් තර­ගා­ව­ලි‍යට එක් කර ඇත.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩා­ය­මට වනිඳු හස­රංග යළි එක්කර ඇති අතර, ළහිරු උදාර, කමිල් මිශාර, ප්‍රමෝද් මධු­ශාන් සහ එෂාන් මාලිංග පිළි­බ­ඳව තේරීම් කමි­ටුව විශ්වාස තබා තිබේ. එක්දින කණ්ඩා­ය­මට ඇතු­ළත්ව සිටි නුව­නිඳු ප්‍රනාන්දු, නිශාන් මදුෂ්ක, මිලාන් රත්නා­යක සහ දුනිත් වෙල්ලා­ලගේ පාකි­ස්තාන සංචා­ර­යට එක්ව නැත.

දෙපා­ර්ශ්වය එක්දින ජාත්‍ය­න්තර තරග 157කදී එකි­නෙකා මුණ ගැසී ඇති අතර, ඉන් තරග 93ක් පාකි­ස්තා­නය ජය­ගෙන, තරග 4ක් ප්‍රති­ඵ­ල­ය­කින් තොරව අව­සන් වී ඇති අතර, එක් තර­ග­යක් සම තත්ත්ව­යෙන් අව­සන් විය. ඉති­හා­සය පුරා ශ්‍රී ලංකා පිල පාකි­ස්තා­නය පර­දවා තරග 59ක ජය ලබා තිබේ. සත්කා­රක කණ්ඩා­යම මේ වසරේ එක්දින තරග 14කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජය­ග්‍ර­හ­ණය කර ඇත්තේ තරග හත­රක් පමණි. එහෙත් ශ්‍රී ලංකා පිල මේ වසරේ එක්දින තරග 10කට ක්‍රීඩා කර එයින් තරග 7ක් ජය­ගෙන යහ­පත් තත්ත්ව­යක පසුවේ.

පාකි­ස්තා­න‍යේදී කණ්ඩා­ය­මට ලබාදී ඇති උසස් ආර­ක්ෂාව පිළි­බඳ සතු­ටට පත්වන බව පිති­කරු කුසල් මෙන්ඩිස් ඊයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් පැව­සීය. “අපට ලබාදී ඇති ආර­ක්ෂාව ඉතාම උසස් එකක්. මා පාකි­ස්තාන සුපර් ලීග් තර­ගා­ව­ලි­යට මෙයට මාස කිහි­ප­ය­කට පෙර පැමි­ණියා. රාව­ල්පින්ඩි ක්‍රීඩාං­ග­ණය අවට වෙනස් කාල­ගු­ණික තත්ත්ව­යක් තියෙ­නවා. චරිත්ගේ නාය­ක­ත්ව‍ෙ­යන් යුත් ශ්‍රී ලංකා පිල හොඳ සම­බර කණ්ඩා­ය­මක්. පැතුම් පසු­ගිය කාලයේ දක්ෂතා අත­රට පැමි­ණියා. අනෙක් සියලු ක්‍රීඩ­ක­යින් මේ තර­ගා­ව­ලි­යේදී උප­රිම දස්කම් දක්වා හොඳ තර­ගා­ව­ලි­යක් පව­ත්වන බව විශ්වා­සයි” කුසල් මෙන්ඩිස් සඳ­හන් කළේය.

පාකි­ස්තා­නය සහ ශ්‍රී ලංකාව තරග තුන­කින් යුත් එක්දින තර­ගා­ව­ලි­යේදී දෙවැනි එක්දින තර­ගය මේ 13 සහ තෙවැනි එක්දින තර­ගය 15දා රාව­ල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේ­දීම පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත. මේ තර­ගා­ව­ලිය අව­සන් වූ පසු, සිම්බාබ්වේ එක්වන තුන්කොන් තර­ගා­ව­ලිය ආරම්භ වන අතර, එහි පළමු තරග දෙක රාව­ල්පින්ඩි හිදී පැවැ­ත්වෙන අතර, 29 වන දින අව­සන් මහා තර­ගය ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාං­ග­ණ­යට ගෙන යනු ඇත.

ශ්‍රී ලංකා එක්දින සංචි­තය: චරිත් අස­ලංක (නායක), පැතුම් නිස්සංක, ළහිරු උදාර, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, සදීර සම­ර­වි­ක්‍රම, කමිදු මෙන්ඩිස්, ජනිත් ලිය­නගේ, පවන් රත්නා­යක, වනිඳු හස­රංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදු­ෂාන්, ඩිල්ෂාන් මදු­ශංක.

පාකි­ස්තාන එක්දින සංචි­තය: ෂහීන් ෂා අෆ්රිඩි (නායක), අබ්‍රාර් අහ­මඩ්, බබාර් අසාම්, හසී­බුල්ලා ඛාන්, මොහො­මඩ් රිස්වාන්, සායිම් අයුබ්, හසන් නවාස්, සල­මන් අගා, ෆහීම් අෂ්රෆ්, හුසේන් තලාට්, මොහො­මඩ් නවාස්, ෆයි­සාල් අක්‍රම්, හරිස් රවුෆ්, මොහො­මඩ් වසීම්, නසීම් ෂා.

Add to cart