රජය විසින් සංවිධානය කරනු ලබන මත්ද්‍රව්‍ය විරෝධී මහජන රැලියක් එළඹෙන නොවැම්බර් 20 වැනිදා තංගල්ලේදී පැවැත්වීමට නියමිත අතර, එය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙම රැලිය සංවිධානය කර ඇත්තේ “විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනය පරදන රටම එකට ජාතික මෙහෙයුම” යන තේමාව යටතේය.
කෙසේ වෙතත්, රජයේ මෙම පියවර මේ වන විට සමාජ මාධ්‍ය අවකාශය තුළ දැඩි ලෙස හාස්‍යයට සහ විවේචනයට ලක්වෙමින් තිබීම විශේෂත්වයකි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ විචාරකයින් විසින් මතු කරනු ලබන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ, රට තුළ ව්‍යාප්ත වී ඇති බරපතල මත්ද්‍රව්‍ය ව්‍යවසනයක් පිටුදැකීම සඳහා ජන රැලි පැවැත්වීම යෝග්‍ය වන පදනම කුමක්ද යන්නයි.
ඔවුන්ගේ මතය වී ඇත්තේ, ජන රැලි යනු දේශපාලන ප්‍රචාරණය සහ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීම සඳහා භාවිතා කරන මෙවලමක් මිස, මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම වැනි දැඩි ආරක්ෂක සහ නීතිමය මැදිහත්වීම් අවශ්‍ය වන ගැටලුවකට ප්‍රායෝගික විසඳුමක් නොවන බවයි.
බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් රජයේ මෙම වැඩසටහන හඳුන්වා දෙන්නේ දේශපාලන ප්‍රොපගැන්ඩා වැඩක් ලෙසිනි. ඔවුන් තවදුරටත් අවධාරණය කරන්නේ, මත්ද්‍රව්‍ය වැනි සංවිධානාත්මක අපරාධ සමඟ සටන් කිරීමට අවශ්‍ය වන්නේ, දැඩි නීති ක්‍රියාත්මක කිරීම, සංවිධානාත්මක ජාවාරම් ජාල කඩා බිඳ දැමීම, නාවික හමුදා සහ පොලිස් බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම, පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීම,
වැනි සැබෑ ක්‍රියාමාර්ග මිස, විශාල පිරිසක් එක්රැස් කරමින් දේශපාලන වේදිකා මත කතා පැවැත්වීම නොවන බවයි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු පවසා සිටියේ, “ජනතාව මත්ද්‍රව්‍ය නිවාරණ රැලියකට යැවීමෙන් ජාවාරම්කරුවන් බිය වන්නේ නැහැ. මේවා කරන්නේ ජනතාවගේ ඇස් වසා දේශපාලන වාසි ලබා ගැනීමටයි,” යනුවෙනි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේදී පැවැත්වෙන මෙම දැවැන්ත රැලියට රජයේ අරමුදල් විශාල ප්‍රමාණයක් වැය වුවද, එහි සැබෑ ප්‍රතිඵල කෙරෙහි සමාජ මාධ්‍යයේ අදහස් පළ කරන්නන් තුළ ඇත්තේ දැඩි සැකයකි.


