මාතර දිස්ත්‍රික්කයේ රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇති පොල් ගස් කපා දැමීමේ කටයුතුවල නිරත නිලධාරීන්ට ආරක්ෂාව සපයන ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති සුනිමල් ජයකොඩි පැවැසුවේ ඇතැම් පොල් වගාකරුවන් නිලධාරීන් ඝාතනය කරන බවට හා පහර දෙන බවට තර්ජනය කර ඇති බවත් ඇතැමුන් නිලධාරීන් බිය ගැන්වීමට සුනඛයන් පවා යොදාගෙන ඇති බවත්ය.
මේ හේතුවෙන් නිලධාරීන්ට තම රාජකාරිය කිරීමට අපහසු වී ඇති හෙයින් නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගත හැකි වුවද ගොවීන් ද මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බැවින් පවතින තත්ත්වය අනුකම්පාවෙන් යුතුව හැසිරවීමට මණ්ඩලයට අවශ්‍ය බව සභාපතිවරයා පැවැසීය.
ඒ අනුව පොල් වගාකිරීමේ මණ්ඩලය විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, මාතර දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම ගැටලුව පිළිබඳ දැනුවත් කර ඇත.
මෙවැනි තර්ජනය කිරීම් හමුවේ පොල් ගස් කපා ඉවත් කිරීමේ වැඩසටහන සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ සහ ක්ෂේත්‍ර නිලධාරීන් හත් දෙනකු බැගින් කණ්ඩායම් 20ක් යොදවා ඇති අතර එම පිරිස සඳහා පොලිස් ආරක්ෂාව අපේක්ෂා කෙරේ.
මාතර දිස්ත්‍රික්කයේ පොල් ගස් පන්දහසක් කපා විනාශ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර ඇත්තේ ‘රේන්ද මකුණා’ යන නාමයෙන් හඳුන්වනු ලබන ආක්රමණික කෘමියකු හේතුවෙන් පැතිර යන ‘වැලිගම විල්ට්’ නමැති රෝගය හේතුවෙනි.
දැනට මාතර දිස්ත්‍රික්කයේ පමණක් පොල් ගස් 6,200ක් මෙම රෝගයට ගොදුරු වී ඇති අතර ඒ අනුව දිනකට පොල් ගස් 500ක් බැගින් සති දෙකකදී විනාශ කිරීම පසුගියදා (11 වැනිදා) සිට ආරම්භ කෙරිණි.
මෙම කෘමියා විසින් විනාශ කරන පොල් ගස වසර දෙකක් ඇතුළත නරක් වීමේ අවදානමක් පවතී.
තවද මේ වන විට මාතර, ගාල්ල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික් කිහිපයක අදාළ රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව හඳුනාගෙන ඇත.

