“දක්ෂතා තිබුණට මොළයක් නැහැ! පරාද වුණාම ලැජ්ජාවක් නැහැ!” අර්ජුනගෙන් ටීම් එකට දෝස්මුරයක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග වත්මන් ජාතික ක්‍රිකට් කණ්ඩායම දැඩි ලෙස විවේචනයට ලක් කරමින් කියා සිටින්නේ, වත්මන් ක්‍රීඩකයන්ට දක්ෂතා තිබුණත්, බුද්ධිමත්ව ක්‍රීඩා කිරීමට තරම් මොළයක් නොමැති බවත්, පරාජය නිහතමානීව පිළිගැනීමට තරම් ලැජ්ජාවක් නොමැති බවත්ය.

ශිෂ්‍ය කණ්ඩායමක් සමඟ පැවති උත්සවයකදී අදහස් දැක්වූ අර්ජුන රණතුංග පැවසුවේ, වත්මන් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා අවශ්‍ය විනය හා මානසිකත්වය නොමැති බවයි.

“ඉගෙන ගන්න අයට බෝලෙට මුහුණ දෙන්නෙ කොහොමද, බෝල කරන්නෙ කොහොමද, කැච් එකක් ගන්නෙ කොහොමද කියලා විනිශ්චය කරන්න මොළයක් තියෙනවා,”

රණතුංග මහතා ක්‍රීඩකයන්ට පමණක් නොව ක්‍රිකට් පරිපාලනයට ද දොස් පැවරීය. නිලධාරීන්ගේ වැරදි ක්‍රීඩකයන්ට බලපාන බව ඔහු කියා සිටියේය.

“දෙමව්පියන් වැරදි කරනවා නම්, දරුවෙකුට ඇඟිල්ල දික් කරන්න අපට බැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් වලටත් ඒ ප්‍රශ්නයම අදාළයි. මම මේ ගැන අවුරුදු ගණනාවක් තිස්සේ කියනවා,”

වත්මන් සංචිතය 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායම සමඟ සංසන්දනය කරමින් අර්ජුන වැඩිදුරටත් කියා සිටියේ, වත්මන් ක්‍රීඩකයන්ට වැඩි දක්ෂතාවක් තිබුණද, ඔවුන්ට විනය, කැපවීම සහ පරාජය වූ විට ලැජ්ජාශීලී හැඟීමක් අවශ්‍ය බවයි.

“මම මැච් එකක් පැරදුණාම ඇඳුම් කාමරයෙන් එළියට ආවෙත් නැහැ. අද හැමදේම කරන්නෙ සල්ලිවලට,”

අර්ජුන රණතුංග තරුණ සිසුන්ට උපදෙස් දුන්නේ මුදල් ඉපැයීම සඳහා පමණක් ක්‍රිකට් පසුපස නොයන ලෙසයි. “ක්‍රීඩකයන් අවුරුදු 10ත් 12ත් අතර හොඳ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවධානය යොමු කළහොත්, මුදල් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක තමයි හරි ක්‍රමය,” ඔහු තවදුරටත් පැවසීය.

 

Add to cart