පාර්ලිමේන්තු සේවිකාවන් ලිංගික හිංසනයට ලක්වූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටුව, පාර්ලිමේන්තුවේ කිසිදු කාන්තා නිලධාරිනියක් සම්බන්ධයෙන් එවැනි සිදුවීම් සිදුවී නොමැති බව අවසන් වාර්තාව මගින් තහවුරු කර තිබේ.
අදාළ විමර්ශන වාර්තාවේ පිටපත, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම විසින් අද (නොවැම්බර් 25) කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න වෙත භාර දෙනු ලැබීය.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවට අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රී මුජිබර් රහ්මාන් විසින් 2025.01.07 දින සභා ගර්භයේදී ප්‍රශ්නය මතු කරන ලදී. ඒ, පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාන්තා සේවිකාවකට ලිංගික හිංසනයක් සිදුව ඇති බවට කරුණු දක්වමිනි.
මෙම පැමිණිල්ල මත පදනම්ව අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වූ නමුත්, පැමිණිලිකාරිය එහි ප්‍රතිඵලයෙන් සෑහීමකට පත් නොවීය. ඒ අනුව, 2025.07.25 දින පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව විසින් බාහිර විමර්ශනයක් පැවැත්වීමට තීරණය කරන ලදී.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අදාළ සියලු පාර්ශ්වයන් කැඳවා, සිද්ධියට අදාළ තොරතුරු සමාලෝචනය කර මෙම අවසන් වාර්තාව සකස් කර තිබේ.
කථානායකවරයා වෙත ඉදිරිපත් කළ මෙම අවසන් වාර්තාවට අනුව, විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත පදනම්ව පැමිණිල්ල කළ නිලධාරිනියට ලිංගික හිංසනයක් සිදුවී නොමැති බවට නිගමනය කර ඇත. තවද, එම අංශයේ වෙනත් කිසිදු කාන්තා නිලධාරිනියක් සම්බන්ධයෙන් ලිංගික හිංසන සිදුවීම් වාර්තා වී නොමැති බවද එමගින් තහවුරු කරයි.
මෙම වාර්තාව මගින් පාර්ලිමේන්තුව වටා ගොඩනැගී තිබූ මතභේදකාරී තත්ත්වයට නිල වශයෙන් තිත තබා ඇත.

