‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සහන මෙහෙයුම් සඳහා සහය දැක්වීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3ක (රුපියල් මිලියන 970කට ආසන්න) හදිසි ආපදා සහන ප්‍රදානයක් අනුමත කර තිබේ.
අයහපත් කාලගුණයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ තායිලන්තය සහ වියට්නාමය යන රටවල් සඳහා ද ආසියානු සංවර්ධන බැංකුව විසින් පිළිවෙලින් ඇමරිකානු ඩොලර් මිලියන 2 බැගින් වන ප්‍රදාන මුදල් අනුමත කර ඇත.
අදාළ රජයන්ගෙන් ලද සහය ඉල්ලීම්වලින් පසුව, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කාන්ඩා (Masato Kanda) මහතා මෙම නිවේදනය සිදු කළේය.
“මෙම විනාශකාරී ගංවතුර හේතුවෙන් සිදුව ඇති දුක් වේදනා ගැන මම දැඩි ලෙස කම්පාවට පත් වෙනවා, ශ්‍රී ලංකාවේ, තායිලන්තයේ සහ වියට්නාමයේ රජයන්ට සහ ජනතාවට සහතික විය හැක්කේ, ජීවිත බේරා ගැනීමට සහ ප්‍රජාවන් නැවත ගොඩනැගීමට උපකාර කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් සහාය ලබා දෙන බවයි. විපතට පත් වූවන්ට රැකවරණය, සැනසීම සහ බලාපොරොත්තුව ගෙන ඒම සඳහා අපි රජයන් සමඟ කඩිනමින් හා සහයෝගයෙන් කටයුතු කරනවා”
මෙම ප්‍රදාන මුදල් ආසියා-පැසිෆික් ආපදා ප්‍රතිචාර අරමුදල (APDRF) වෙතින් ලබා දෙනු ඇත. මෙම අරමුදල, ස්වභාවික උපද්‍රව හේතුවෙන් ඇතිවන ප්‍රධාන ආපදාවලින් පසු වහාම ජීවිතාරක්ෂක කටයුතු සඳහා සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවලට කඩිනම් ප්‍රදාන ලබා දෙයි.
ගංවතුර හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වී ඇති අතර දේපළ හා යටිතල පහසුකම්වලට ද බරපතළ හානි සිදුව ඇත. මෙම ප්‍රදානය මගින් ශ්‍රී ලංකාවේ හදිසි සහ මානුෂීය මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය සහයෝගයක් ලැබෙනු ඇත.

