“තව ටික වෙලාවයි තියෙන්නේ වතුරේ අපි ගහගෙන යන්න, අපි විසිනව දෙනා ම එකට මැරෙමු” ගම්පොල ඛේදවාචකය..!

ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දෙකකින් සමන්විත ගම්පොළ පොලිස් කොට්ඨාසය තුළ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නාය යාම් හා ගංවතුරින් දෙසැ. 3 වන දා දහවල් 12 පමණ වන විට අවම වශයෙන් මරණ 65ක් සහ පුද්ගලයින් 84 දෙනෙකු අතුරුදන් වී ඇතැයි ආපදා සහන සේවා කමිටුව හා පොලිස් වාර්තා උපුටා දක්වමින් ගම්පොළ බීබීසී වාර්තාකරු සුරංග රාජනායක පවසයි.

ගම්පොළ පොලිස් කොට්ඨාසය ගම්පොළ, නාවලපිටිය, පුස්සැල්ලාව, ගලහ, නවකුරුඳුවත්ත, පුපුරැස්ස සහ ඇත්ගාල යන පොලිස් ස්ථානවලින් සමන්විත වේ.

දොළුව ප්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න සඳහන් කළේ, ගම්පොළ ප්‍රදේශයේ ස්ථාපිත අවතැන් කඳවුරු 86ක් තුළ පුද්ගලයින් 15,775ක් රැඳී සිටින බවත් ඉන් කඳවුරු 48ක් දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපනය කර ඇති බව ත් ය.

ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කඳවුරු 38ක් ඇති බව උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුෂි ජයරත්න ප්‍රකාශ කළා ය.

1947 මහා ගංවතුරට පසු ගම්පොළට ඇතිවූ විශාලතම ගංවතුර මෙය වන අතර නගරයේ නිවාසවල හා වෙළෙඳසල්වල සුන්බුන් අතර සිර වූ 36 දෙනකුගේ මළ සිරුරු හමුව ඇති බීබීසී ගම්පොළ වාර්තාකරු පැවසීය. සමස්තයක් ලෙස මළ සිරුරු 60ක් ගම්පොළ රෝහලට දෙසැ. 3 වන දින වන විට රැගෙන විත් තිබුණු බව රෝහල් අධ්‍යක්ෂ ඒ.ඒ.ඩී.සී. ඩයස් සඳහන් කළේ ය.

මිය ගිය පිරිස අතර දරුවන් 10 දෙනෙකු සහ කාන්තාවන් 32 දෙනෙකු වන බව පැවසේ.

ගං වතුර සහ නාය යාම්වලට ගොදුරු වූ ගම්පොළ

මහවැලි ගඟ අවහිර කර ඉදිකර ඇති ගොඩනැගිලි

ගම්පොළ බීබීසී වාර්තාකරු සුරංග රාජනායක සඳහන් කළේ, ගං වතුර මෙන් ම ගස් කඩා වැටීම් හේතුවෙන් එම ප්‍රදේශය තුළ සිදු වූ හානිය ඉහළ ගොස් ඇති බව ය.

මාවතුර – ඉහළ ගම ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් නිවාස 17ක් විනාශ වී එහි සිටි පවුල්වල පුද්ගලයින් 40-50 අතර ගණනක් අතුරුදහන්ව ඇති බව උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා ඒකකය පවසන අතර ඒ අතරින් මළ සිරුරු 15ක් පමණ මේ වන විට සොයා ගෙන තිබේ.

එමෙන් ම, උලපනේ – ගඩොල් බෝක්කුව අසල නාය යාම නිසා මගී ප්‍රවාහන බස් රථ දෙකක් හා තවත් වාහන කිහිපයක් ම අනතුරට ලක්ව තිබුණත් සහන කාණ්ඩායම්වලට එම ස්ථානවලට යාමට නොහැකි වීමෙන් දිනන ගණනාවක් පුරා එහි ඇති සිරුරු ඉවත් කර ගැනීමට නොහැකි වී තිබුණු බව බීබීසී වාර්තාකරු පැවසීය.

පුපුරැස්ස – රජතලාව ප්‍රදේශයේ ගම්මානයක් නාය යාමෙන් පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදන් වී ඇති අතර ඉන් තිදෙනෙකුගේ සිරුරු හමුවී ඇති බවත් ගල්ඔය ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් මරණ 18ක් සහ අතුරුදන් වීම් 5ක් සිදුව ඇති බවත් දොළුව ආපදා සහන නිලධාරී නුවන් ධනුශ්ක සඳහන් කළේ ය.

එසේ ම දොළුව – නව නිල්ලඹ ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් මරණ තුනක් හා අතුරුදන්වීම් 9ක් සහ හුණුගල ප්‍රදේශයෙන් තවත් මරණයක් ද වාර්තා වී තිබිණි.

ගම්පොළ – සිංහපිටිය ජලාශ පාර දෙසට හදිසියේ ගලා ආ ජල පහරකට හසුවූ හත් දෙනෙකු ගසා ගෙන ගොස් තිබූ අතර ඉන් ගම්පොළ, ජිනරාජ පිරිමි මහා විද්‍යාලයේ ගුරුවරියක මියගොස් ඇගේ මළ සිරුර පාසලේ පිට්ටනියේ රැඳී තිබියදී හමුවී තිබිණි.

කෙසේ වෙතත්, ඇයගේ සැමියා හා පුතුන් එම ජල පහරින් දිවි ගලවාගෙන තිබුණු බව බීබීසී වාර්තාකරු පැවසීය.

ගම්පොළ ප්‍රධාන පාලම අසල ජාතික උරුම මධ්‍යස්ථානය හානියට පත්ව තිබූ අයුරු
ගම්පොළ ප්‍රධාන පාලම අසල ජාතික උරුම මධ්‍යස්ථානය හානියට පත්ව තිබූ අයුරු

එසේ ම මාර්ග අවහිරතා හේතුවෙන් දොළුව – පුපුරැස්ස, පිටවල, මුල්ගම, තුන්පෑලවක, උඩුදෙණිය, හුණුගල යන ගම්මානවල සිදුව ඇති නාය යාම් හා අතුරුදන්වීම් පිළිබඳව පරීක්‍ෂා කිරීමට යාමට නොහැකි තත්ත්වයක් ද උදාවී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

ගලහා මාර්ගයේ කෝවිල් හන්දිය ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් නිවාස කිහිපයක් විනාශ වී ඇති අතර එහි සිටි පුද්ගලයින් පස් දෙනෙකුගේ සිරුරු හමුවී තවත් කිහිප දෙනෙකු අතුරුදන් වී තිබේ.

ගලහා මාර්ගයේ කෝවිල් හන්දිය ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් නිවාස කිහිපයක් විනාශ වී ඇති අතර එහි සිටි පුද්ගලයින් පස්දෙනකුගේ සිරුරු හමුවී තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව තිබුණු බව අප වාර්තාකරු පැවසීය.

ඔහු සඳහන් කළේ, පස්වලට යටවී සිටි දරුවෙකු එහි සිටියදී සොයා ගැනුණ ද මුදා ගෙන කෙටි වේලාවකින් ඔහු ජීවිතක්ෂයට පත් වූ බව ය.

ගම්වාසීහු පනහක් පමණ වැළලී ඇති මාවතුර නාය
ගම්වාසීහු පනහක් පමණ වැළලී ඇති මාවතුර නාය

ඊට අමතරව මහනුවර හෝටලයක රැකියාවට ගොස් නිවසට එන විට තම බිරිඳ හා තම දරු තිදෙනා නිවස සමග පස්වලට යට වී තිබුණු බව තවත් පුද්ගලයෙකු සඳහන් කර තිබිණි.

මේ අතර, බොහෝ දෙනෙකු අතුරුදන් වූ තම ඥාතීන් සොයමින් සිටි බව බීබීසී වාර්තාකරු පැවසීය.

මෙවැනි ජීවිත අහිමි වූ සිදුවීම් තවත් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා විය.

මිලිමීටර් 440කට අධික වර්ෂාපතනයක්

ජනතාව නිවෙස්වල ඉහළ මහලට නැග සිටි අයුරු
ජනතාව නිවෙස්වල ඉහළ මහලට නැග සිටි අයුරු

මහවැලි ගඟ පිටාර ගැලීම ගම්පොළ ප්‍රදේශයට දැඩි හානියක් සිදු කළ බීබීසී ගම්පොළ වාර්තාකරු සුරංග රාජනායක සඳහන් කළේ ය.

කොත්මලේ ගාමිණී දිසානායක ජලාශය හා තලවාකැලේ ඉහළ කොත්මලේ ජලාශය ඉදිකිරීමෙන් පසුව ඊට පහළින් තිබූ උලපනේ – ගම්පොළ – ගෙලිඔය – පේරාදෙණිය නගර ගංවතුරෙන් සුරක්ෂිතව පැවතියත් මෙවර නොකඩවා ඇද හැළුණු ධාරාණිනිපාත වර්ෂාව හේතුවෙන් ඒ සියල්ල විපතට පත්ව තිබිණි.

අප වාර්තාකරු සඳහන් කළේ, මිලිමීටර් 440ක ඉක්මවා ලැබුණු වර්ෂාපතනය මහවැලි ගඟ සහ ජලාශ පමණක් නොව ඇළ දොළ මාර්ග මෙන් ම කඳුවලට ද ඔරොත්තු නොදුන් බව ය.

මේ නිසා ම කඳු නාය ගොස් හා ගංගා, ඇළ-දොළ උතුරා ඒවා නගරය සහ ගම්මාන කරා පැමිණියේ සුළු වේලාවකදී බව ඔහු පැවසීය.

‘තව ටික වෙලාවයි තියෙන්නේ වතුරේ අපි ගහගෙන යන්න, අපි විසිනව දෙනා ම එකට මැරෙමු කියලා අපි කතා වුණා’

ගම්පොළ නගරයේ මහවැලි ගඟ අසල තිබූ ගංගාරාම විහාරය කඩා වැටී තිබූ ආකාරය
ගම්පොළ නගරයේ මහවැලි ගඟ අසල තිබූ ගංගාරාම විහාරය කඩා වැටී තිබූ ආකාරය

ගම්පොළ නගරයේ දුම්රියපොළ මෙන් ම බස් නැවතුම්පොළ ද සහ ඒ අවට වීදි ජලයෙන් යටවී තිබුණු අතර ඊට පහළින් පිහිටා ඇති කහටපිටිය – බැබිළ ප්‍රදේශවල අඩි 20-30ත් අතර උසකට ජලයෙන් යටවී තිබුණු බව බීබීසී ගම්පොළ වාර්තාකරු සුරංග රාජනායක සඳහන් කළේ ය.

“හවස හයයි තිහට අපි පල්ලියේ වැඳලා එළියට එනකොට ගමට වතුර ඇවිත් තිබුණා. මගේ ගේ තට්ටු දෙකයි. ගෙදර අපේ ළමයි, ඒ අයගේ දරුවෝ වගේ ම නෑදෑයෝ හිටියා.

මට ඒ අය මතක් උණ නිසා මම වතුරට බැස්සා. මගේ කර උසට වතුර තිබුණත් මම පීනගෙන ගෙදර හොයාගෙන ගියා. උස ප්‍රදේශයකටවත් යන්න වෙලාවක් ගංවතුර අපට ඉතුරු කරලා තිබුණේ නැහැ. හැමතැන ම වතුර පිරිලා. අපි ඔක්කොම විසිනම දෙනෙක් හිටියා,” යැයි ගම්පොළ, කහටපිටිය – බැබිල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හාරිස් තම අත්දැකීම් විස්තර කළේ ය.

“ගෙදර තට්ටු දෙකක් උඩින් තිබුණු කොන්ක්‍රීට් එකට අපි නැග්ගා. පොඩි ළමයි දහ තුනක් අපේ ළඟ. හිටියා මම ලණු ටිකක් හොයා ගත්තා ඔක්කොම ටික එකට ගැට ගහන්න. මොකද තව ටික වෙලාවයි තියෙන්නේ වතුරේ අපි ගහගෙන යන්න. එහෙම ගියොත් අපි විසි නමදෙනා ම එකට මැරෙමු කියලා තමයි අපි කතා වුණේ.

උදවු ඉල්ලන්න කවුරුවත් නෑ. හැමෝම විපතට පත් වෙලා. ඒත් දෙවියො බලලා අපි ඉන්න දිහාට බෝට්ටුවක් ආව නිසා ඒ අය අපි බේරා ගත්තා ඒක හාස්කමක් වගේ දෙයක්,” ඔහු වැඩිදුරටත් පැවසීය.

අප වාර්තාකරු සඳහන් කළේ, ප්‍රදේශයේ දේපළ හානි රැසක් සිදුව තිබුණු බව ය.

ගම්පොළ ජලගැලීම් ගැන මන්ත්‍රී අනුරාධ ජයරත්න පාර්ලිමේන්තුවේදී පැවසුවේ මොනවා ද?

නාය යාම් හා ජල ගැලීම්වලට හසුවූ නිවාස
නාය යාම් හා ජල ගැලීම්වලට හසුවූ නිවාස

මේ අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න බදාදා (දෙසැ. 3) දා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ, ඇති වීමට තිබුණු ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් ගම්පොළ ජනතාවට පූර්ව දැනුම් දීමක් නොකළ බව ය.

“මේ ව්‍යසනයේදී කඳු නාය ගියා, ප්‍රශ්න ඇති වුණා, ගැටලු ඇති වුණා ඒවා පිළිබඳව අපි ආණ්ඩුවට චෝදනා කරන්නේ නැහැ. ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒක එක ස්වභාවික විපතක්, ස්වභාවික හානි. ඒ පිළිබඳව අපිට තර්කයක් නැහැ.

හැබැයි මේ කාරණාව ඇතුළේ ඇතිවුණු ගැටලු ගණනාවක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. පළවෙනි දේ තමයි, රන්ටැඹෙන් එළියට යන වතුර ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩි ම වර්ෂාපතනයකදී ගිහිල්ලා තියෙන්නේ තත්පරයට 3,500යි. හැබැයි මහවැලියෙන් කියනවා මේ 5,800ක් වගේ ප්‍රමාණයකට වැඩි වේවි කියලා. හැබැයි ඇත්තට ම තත්පරයට ඝන මීටර් 7,800ක් රන්ටැඹෙන් එළියට නිකුත් කෙරුණා,” ඔහු පැවසීය.

“මේ කාරණාව දැනගෙන හිටියා නම්, ඇයි අපිට අහිංසක මිනිස්සුන්ට මේ ගැන දැනුවත් කරන්න බැරි වුණේ? අනිත් එක නියෝජ්‍ය කතානායකතුමනි UNDP එකේ 27 වෙනි දා මහවැලියේ තිබුණු රැස්වීම් ටික සියල්ල 26 වෙනි දා අවලංගු කළා. 27 වෙනි දා මෙහෙම ව්‍යසනයක් තියෙනවා කියලා 26 වෙනි දා ඒ සියලු රැස්වීම් ටික අවලංගු කළා.

ඇයි බැරි වුණේ, ගම්පොළ නගරයට ගිහිල්ලා මෙහෙම ගංවතුරක් තියෙනවා කියලා නිවේදනය කරන්න? තත්පරයට මි.මී. 160ක් ආවොත් එහෙම යට වෙනවා. එදා නිල්ලඹ මාපාංකයේ සටහන් වෙනවා මි.මී. 440යි. 440ක වැස්සක් එනවා නම්, 160ට යටවෙන ගම්මානවලට ඇයි දැනුවත් කළේ නැත්තේ?

ඒ විතරක් නෙවෙයි, කතානායකතුමනි. නාවලපිටියට උඩින් තියෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගේජින් ස්ටේෂන් එක. මේ ගේජින් ස්ටේෂන් එකේ මහවැලි ගඟේ එන වතුර ප්‍රමාණය මනිනවා. මේ වතුර ප්‍රමාණය මැනලා මේක ගම්පොළ නගරයට එදා කිව්වා නම්, ඔය මැරෙන්න තිබුණ ගාණෙන් 80%ක් එදා බේරෙනවා. හැබැයි ඒ කිසි ම දෙයක් සංවිධානය වෙලා, ඒවා සන්නිවේදනය කළේ නැහැ ගම්පොළ නගරයේ මිනිස්සුන්ට. එහෙම නම්, අර නාවලපිටියට උඩින් තියෙන ගේජින් ස්ටේෂන් එක සම්පූර්ණයෙන් අකර්මණ්‍යයි.

ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මෙතනදී සිහිපත් කරනවා, ඔය ගම්පොළ නගරයේ මැරිච්ච හැම ජීවිතයක් වෙනුවෙන් ම මේ ආණ්ඩුව හැටියට වග කියන්න ඕනේ කියන එක අපි මේ සභාවේදී කියනවා. ඒක වෙන මොනවත් නිසා නෙවෙයි. ස්වභාවිකව කඳු නාය ගිහින් ප්‍රශ්න ඇති වුණා නම් ඒක තර්කයක් නැහැ. නිකම් අහිංසක මිනිස්සු ටික මරුවා ගම්පොළ නගරයේ හිටපු. කියන්න බැරි වුණා මි.මී. 440ක් වහිනවා 27 වෙනි දා කියලා පණිවිඩේ කිව්වේ නැහැ,” මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාරය

ගම්පොළ නගරය ජලයෙන් යටවීමට සතියකට පෙර දිස්වූ අයුරු
ගම්පොළ නගරය ජලයෙන් යටවීමට සතියකට පෙර දිස්වූ අයුරු

මෙම චෝදනා සම්බන්ධයෙන් විමසීමට බීබීසී සිංහල වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්ජිනේරු අජිත් ගුණසේකර සම්බන්ධ කර ගත්තේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

“ගම්පොළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සම්බන්ධයක් නැහැ. මහවැලිය, කොත්මලේ, පොල්ගොල්ල, වික්ටෝරියා වගේ ජලාශවලින් තමයි ගම්පොළ පැත්තට හානියක් වෙන්නේ. එතකොට ඒවා පාලනය වෙන්නේ මහවැලි අධිකාරියෙන්. මහවැලි ගඟ පිටාර ගලන්නේ අරවා ඇරියා ම. අපි මහවැලි ගඟ ගැන ගංවතුර අනතුරු ඇඟවීම් කරනවා.”

ගංවතුර අනතුරු ඇඟවීම් පිළිබඳව වැඩිදුර දැන ගැනීමට ඔහුගේ උපදෙස් පරිදි බීබීසීය අදාළ අංශයේ අධ්‍යක්ෂවරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ නමුත්, එය ලිපිය පළ කරන මොහොත දක්වා ව්‍යර්ථ විය.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා සඳහන් කරන “නාවලපිටියට උඩින් තියෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගේජින් ස්ටේෂන් එක,” ගංවතුරට පෙර ක්‍රියාත්මක තත්ත්වයේ පැවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්ජිනේරු අජිත් ගුණසේකර තහවුරු කළේ ය.

*මුදා ගැනීමේ කටයුතු තවමත් සිදුවන බැවින් වාර්තා වන මරණ සංඛ්‍යාව යාවත්කාලීන විය හැකි බව සලකන්න.

BBC සිංහල

Add to cart