ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් මෝදිගේ සහය පතයි!” – ලංකාවට නවීන ඖෂධ රසායනාගාරයක් ඉල්ලා සංදේශයක්.

මෙරට සෞඛ්‍ය පද්ධතිය වෙළාගෙන ඇති බාල ඖෂධ අර්බුදයට තිරසාර විසඳුමක් ලෙස, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ඖෂධ නියාමන රසායනාගාරයක් පිහිටුවීමට සහය වන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානය ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ ඉල්ලීමක් කර තිබේ.

එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් අත්සන් කරන ලද මෙම විශේෂ සංදේශය ඊයේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

ජීවත්වීමේ අයිතිය උදෙසා අසල්වැසි සහය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කරමින් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉන්දියානු රජය සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන ඇති “ජීවත්වීමේ අයිතිය” ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් ද තහවුරු කිරීමට මෙම අවස්ථාවේදී ඉදිරිපත් වනු ඇති බවයි. විශේෂයෙන් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ පැනනැගී ඇති ගැටලු නිරාකරණය කරගැනීමට මෙම දියුණු රසායනාගාර පද්ධතිය අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.

සංදේශයේ අඩංගු ප්‍රධාන යෝජනා 4:

මෙමගින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රධාන වශයෙන් කරුණු හතරක් ඉල්ලා ඇත:

  1. තාක්ෂණික සහ මූල්‍ය දායකත්වය: WHO ප්‍රමිතියට අනුකූල ඖෂධ පරීක්ෂණ රසායනාගාරයක් ස්ථාපිත කිරීම.

  2. උපකරණ සහ පද්ධති: ඉහළ තාක්ෂණයෙන් යුත් රසායනාගාර මෙවලම් සහ තත්ත්ව සහතික පද්ධතියක් ලබා ගැනීම.

  3. මානව සම්පත් පුහුණුව: මෙරට විද්‍යාඥයින් සහ තාක්ෂණ නිලධාරීන් සඳහා ඉන්දියාවේදී විශේෂ පුහුණුවක් ලබා දීම.

  4. විශේෂඥ සහය: ඖෂධ හා සෞඛ්‍ය අංශවල තිරසාරත්වය සහතික කිරීම සඳහා ද්විපාර්ශ්වික විශේෂඥ කණ්ඩායමක සහය ලබා ගැනීම.

“පරණ නිලධාරීන්ගෙන් සෞඛ්‍යය හදන්න බැහැ”

මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව මහතා රජයට ද දැඩි අනතුරු ඇඟවීමක් කළේය. පසුගිය වසර කිහිපය තුළ සෞඛ්‍ය පද්ධතිය දරුණු ලෙස කඩා වැටීමට වගකිව යුතු නිලධාරීන් තවමත් පද්ධතිය තුළ රැඳී සිටින බවත්, ඔවුන් සමඟ සෞඛ්‍ය සේවාව නිවැරදි කළ නොහැකි බවත් ඔහු පැවසීය.

“සෞඛ්‍යය කියන්නේ දේශපාලන විෂයයක් නෙවෙයි, ඒක මිනිස්සුන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. සාම්ප්‍රදායික දේශපාලන දෘෂ්ටිකෝණයෙන් බැහැරව නවීන ලෝකයට ගැළපෙන සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට රජය වහාම පියවර ගත යුතුයි,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී අතිගරු ජනාධිපතිවරයා ද දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍යවරුන්ගේ සන්ධානය පවසයි.

 

Add to cart