වත්මන් රජය විසින් හඳුන්වා දී ඇති ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) යනු ප්‍රජාතන්ත්‍රවාදය මරාදමන මාරක අවියක් බව පවසමින් ‘දිනන දකුණ’ සාමූහිකය රජයට සිය දැඩි විරෝධය පළ කරයි. මෙය හුදෙක් පනතක් නොව, ජනතාව මර්දනය කිරීම සඳහා සකස් කළ “දෙපැත්ත කැපෙන ආයුධයක්” බව එම සංවිධානය පෙන්වා දෙයි.
අතීතයේ බැටකා අද මර්දකයින් වී ඇති හැටි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) නිසා අතීතයේදී දරුණුතම පීඩාවන්ට ලක්වූ පිරිසක් අද රජය මෙහෙයවන පසුබිමක, නැවතත් එවැනිම මර්දනකාරී නීති ගෙන ඒම දෛවයේ සරදමක් බව මෙම නිවේදනය මගින් අවධාරණය කෙරේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය විසින් ඉදිරිපත් කළ මෙම කෙටුම්පත, පැරණි මර්දනකාරී පනත්වලම තවත් එක් නරක “කාබන් කොපියක්” බව ඔවුන්ගේ අදහසයි.
නීතියේ ආධිපත්‍යය ලේකම්වරුන්ගේ අතට!
මෙම පනතේ ඇති බරපතළම අවදානම වන්නේ අධිකරණය සතු බලතල විධායකය සතු කර ගැනීම බව ‘දිනන දකුණ’ සාමූහිකය පෙන්වා දෙයි:
-
ස්වාධීනත්වය අහිමි කිරීම: පුද්ගලයෙකු වරදකරුවෙකුද යන්න තීරණය කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයාගෙන් උදුරාගෙන අමාත්‍යාංශ ලේකම්වරයා සතු කර ඇත.
-
නිර්දෝෂී බවේ මූලධර්මයට මරු පහරක්: ඕනෑම පුද්ගලයෙකු වරදක් ඔප්පු වන තෙක් නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකීමේ නීතිමය මූලධර්මය මෙම පනතින් අහෝසි කර තිබේ.
-
සෝදිසි මෙහෙයුම්: වරෙන්තු රහිතව ඕනෑම පුද්ගලයෙකු සෝදිසි කිරීමට සහ ඩිජිටල් දත්ත ලබා ගැනීමට පොලිසියට අසීමිත බලතල ලබා දීම හරහා පුද්ගල නිදහස දැඩි ලෙස සීමා වේ.
දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමේ සැලසුමක්ද?
මෙම පනත යටතේ “ත්‍රස්තවාදය” යන්න අර්ථ දක්වා ඇත්තේ රජයට එරෙහි දේශපාලන ක්‍රියා පවා ත්‍රස්තවාදයක් ලෙස හංවඩු ගැසිය හැකි ආකාරයට බවට චෝදනා එල්ල වේ. මේ හරහා නිවැරදි පුද්ගලයන් දහස් ගණනක් බන්ධනාගාර ගත වීමේ අවදානමක් පවතින බව ‘දිනන දකුණ’ සාමූහිකය අනතුරු අඟවයි.
වහාම හකුලාගනු!
පැරණි දරුණු නීතිවලින් (Draconian Laws) බැටකෑ රටක් ලෙස ලාංකීය ජනතාවට තවදුරටත් එවැනි නීති අවශ්‍ය නොවන බව පවසන දිනන දකුණ සාමූහිකය, වහාම මෙම PSTA කෙටුම්පත හකුලා ගන්නා ලෙස රජයට බලකර සිටියි. ඒ වෙනුවට පුළුල් මහජන සහ විශේෂඥ කතිකාවතකින් පසු, මානව හිමිකම් සුරකින නවීන පනතක් හඳුන්වා දිය යුතු බව ඔවුන් අවධාරණය කරයි.

