“ළමා මනස විකෘති කරන විදේශීය න්‍යාය පත්‍රවලට ඉඩ නොදෙනු!” – සමාජ ජාල මාධ්‍යවේදීන්ගෙන් රජයට දැඩි අනතුරු ඇඟවීමක්

6 ශ්‍රේණියේ පෙළපොතට Buddy.net ඇතුළත් කිරීමට එරෙහිව දැඩි විරෝධයක්

2026 වසර සඳහා නිකුත් කිරීමට නියමිත 6 ශ්‍රේණියේ පාසල් පෙළපොතට Buddy.net නමැති වෙබ් අඩවිය ඇතුළත් කරමින් දරුවන්ගේ මනස විකෘති කිරීමට අධ්‍යාපන බලධාරීන් දරන උත්සාහය ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.

අද (31) නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනයක් මගින් එම සංගමය අවධාරණය කරන්නේ, මෙය මෙරට සංස්කෘතික පදනම විනාශ කිරීම සඳහා දියත් කර ඇති සැලසුම් සහගත වැඩපිළිවෙළක කොටසක් බවයි.

සංගමය විසින් රජයේ මෙම ක්‍රියාව හරහා මතුවිය හැකි බරපතළ අවදානම් කිහිපයක් පෙන්වා දී ඇත:

  1. ළමා මනස විකෘති කිරීම: ලිංගිකත්වය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති අවුරුදු 11ක පමණ දරුවන්ගේ සිත් තුළට විකෘති කාමාශාවන් රිංගවීම හරහා ඔවුන්ගේ ස්වාභාවික මානසික වර්ධනයට බරපතළ හානි සිදුවීම.

  2. සංස්කෘතික ඛාදනය: ලාංකේය අනන්‍යතාවය සහ පවුල් සංස්ථාවේ පදනම බිඳ දමමින්, අනාගත පරම්පරාව විකෘති ලිංගික ආශාවන් සහිත පිරිසක් බවට පත් කිරීමට විදේශීය න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වීම.

  3. සදාචාරාත්මක පරිහානිය: අධ්‍යාපනය නාමයෙන් දරුවන්ගේ අහිංසකත්වය කෙලෙසීමට රජය මැදිහත් වීම සමාජයීය අපරාධයක් ලෙස හඳුන්වා දීම.

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රමුඛ බලධාරීන් මෙම තීරණය සම්බන්ධයෙන් වගකිව යුතු බව සංගමය පවසයි. “අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන මුවාවෙන් මෙරට සදාචාරය බිලි දීමට උත්සාහ නොකරන්න” යැයි ඔවුන් රජයට අවධාරණය කර සිටී.

ජාතියේ අනාගතය බඳු දරුවන්ගේ මනස විනාශ කරන මෙවැනි තීරණ වහාම හකුළා ගත යුතු බවත්, එසේ නොවන්නේ නම් සමස්ත ජනතාව පෙළගස්වමින් දැඩි වෘත්තීය සහ සමාජීය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍යවේදීන්ගේ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා ඇත.

Add to cart