ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වීමට පෙර ජනතාවට ලබා දුන් පොරොන්දු අතර, විදුලි ගාස්තු එක හෙලා පහත දැමීම ප්රමුඛස්ථානයක් ගත්තේ ය. අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයාව සිටිය දී ඔහු ජනාධිපතිවරණ වේදිකාවේ දී පැහැදිලිව ප්‍රකාශ කළේ ‘ඉතා ම කෙටි කාලයක් තුළ’ විදුලි ගාස්තු සැළකිය යුතු ප්‍රමාණයකින් පහත හෙලන බව ය.
මීට පෙර විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනා ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමට යොමු කළ නිර්දේශය වූයේ එතැන් සිට ඉදිරි මාස 6 ක කාල සීමාව තුළ විදුලි ගාස්තු වෙනස් නොකර පවත්වාගෙන යාම ය.
කෙසේවෙතත්, 2025 ජනවාරි මාසයේ දී ලංකා විදුලිබල මණ්ඩලය සහ ආණ්ඩුවේ සාවද්‍ය කරුණු දැක්වීම් පිළි නොගනිමින් විදුලි බිල 20% කින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කොට කටයුතු කරන ලදී. ඒ විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා වූ අදහස් ප්‍රකාශ කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලබා දෙන ලද අවස්ථාවේ දී අදහස් සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව මහජන විරෝධය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ නිර්භය ක්‍රියාමාර්ගය හමුවේ අකැමැත්තෙන් වුව ද, විදුලි ගාස්තු අඩු කිරීම සඳහා විදුලි බල මණ්ඩලයට සහ ආණ්ඩුවට සිදු විය. ඉන්පසු ගත වූ මාස 4 ක කාල සීමාව පුරා ඉදිරියේ දී විදුලි ගාස්තු සංශෝධනය කළ යුතු බවත්, විදුලිබල මණ්ඩලය දුවන්නේ පාඩුවට බවත් කියාපාමින් ආණ්ඩුවේ ඇමැතිවරු කන්කෙඳිරි ගෑහ. දැන් ජනාධිපතිවරයා විසින් ම එකී කෙඳිරිගෑම ස්ථිර කොට තිබේ.
ඒ අනුව,
ජුනි මාසයේ පැවැත්වෙන ඊළඟ විදුලි ගාස්තු සංශෝධනයේ දී විදුලි ගාස්තු වැඩි වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබේ.
රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් ඔහු පැවසුවේ ජුනි මාසයෙන් පසු විදුලි ගාස්තු පසුගිය දෙසැම්බර් මාසයේ ගාස්තුවලට වඩා අඩු මට්ටමක පවතින බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) මැයි 15 වන විට සිය යෝජනා ඉදිරිපත් කරන බවත්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සති දෙකක් ඇතුළත ගාස්තු තීරණය කරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.