සබරගමුව සරසවි සිසු මරණය: නවකවදය සම්බන්ධයෙන් සිසුන් සිව්දෙනෙක් රිමාන්ඩ්

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ මරණය සම්බන්ධයෙන් නවක වදය සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනෙකු එළැඹෙන මැයි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිසිය සඳහන් කළේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන මහරගම, ඇඹිලිපිටිය, වාරියපොළ හා හබරාදුව ප්‍රදේශවල පදිංචි සිසුන් සිව්දෙනෙකු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි. අද (05) ඔවුන් බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවා පසුගිය අප්‍රේල් මස 29 වනදා සිය නේවාසිකාගාරයේදී මියගොස් තිබුණි. ඔහු සිය අත්අකුරින් ලියූ ලිපියක සඳහන් කර තිබුණේ විෂාදය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත්, මියගිය සිසුවාගේ ඥාතීන් සහ මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ පවතින නවකවදය දරාගත නොහැකිව ඔහු සියදිවි හානිකරගත් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇති අතර, සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා විසින් ද කරුණු සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

මීට අමතරව, සමනලවැව පොලිසිය පසුගිය දිනවල චරිත් සමග නවකවදයට ලක්වූ බව කියන සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. පසුව, වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි මෙම නවකවද සිද්ධිය පිළිබඳ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී. අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ එම විමර්ශනයට අදාළවය.

මෙම සිද්ධිය හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් අතරත් සමාජය තුළත් දැඩි කතාබහක් ඇතිවී තිබෙන අතර, නවකවධය වැනි අමානුෂික ක්‍රියාවන් විශ්වවිද්‍යාල තුළින් තුරන් කළ යුතු බවට බොහෝ දෙනාගේ අදහස වී ඇත. ඉදිරි දිනවලදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart