රජයට එරෙහිව කරන ලද පැමිණිලි ගැන මැතිවරණ කොමිසම ක්‍රියා කළේ ඉතා මන්දගාමීවයි..!

එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (06) කඩුවෙල මහා නගර සභාවට අයත් බත්තරමුල්ල ජයන්තිපුර බෞද්ධ මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රණවක මහතා මෙසේ පැවසීය:

“අද ඡන්දය දැම්මා. අපි හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනුව රටේ සියලු ජනතාවම මේ පළාත් පාලන ඡන්දය පාවිච්චි කරයි කියලා.”

පළාත් පාලන මැතිවරණවල ඡන්ද ප්‍රතිශතය අඩු වීමේ ප්‍රවණතාවක් පවතින බවත්, මෑතකාලීනව ප්‍රධාන මැතිවරණ දෙකක් ඉක්මනින් පැවැත්වීම ඊට හේතුවක් විය හැකි බවත් ඔහු පැවසීය.

මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපය විවේචනය කරමින් රණවක මහතා කියා සිටියේ, රජයට එරෙහිව කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් කොමිසම ක්‍රියා කළේ ඉතා මන්දගාමී ලෙස බව ය. ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ තවත් අය සම්බන්ධයෙන් කරන ලද පැමිණිලිවලට නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබඳ ඔහු සිය විරෝධය පළ කළේය.

විශේෂයෙන්ම, ජනාධිපතිවරයා විසින් මුදල් ලබා නොදෙන බවට කරන ලද තර්ජනය, අස්වැසුම ප්‍රතිලාභ ලක්ෂ හතරකින් වැඩි කරන බවට කරන ලද මැතිවරණ අල්ලස සහ මහරගම නගර සභාව සම්බන්ධයෙන් කරන ලද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිසි ක්‍රියාමාර්ග නොගත් බවට ඔහු චෝදනා කළේය.

“ජනාධිපතිවරණයේදී එහෙම අපි දැක්ක ඒ ස්වාධීන මැතිවරණ ක්‍රියාව, නිරීක්ෂණ ක්‍රියාවලිය මැතිවරණ කොමිසම හෝ අදාළ ආයතන සිදුකළේ නැති බව කණගාටුවෙන් කියන්න ඕන.” රණවක මහතා වැඩිදුරටත් පැවසීය.

මැතිවරණයෙන් පසු සිය පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ගය පිළිබඳව අදහස් දක්වමින් රණවක මහතා කියා සිටියේ, මෙය ඔවුන්ගේ කුලුදුල් මැතිවරණය බවත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා වඩාත් ශක්තිමත්ව සංවිධානය වන බවත්ය.

මෙම අවස්ථාව සඳහා කඩුවෙල මහා නගර සභා අපේක්ෂක කණ්ඩායමේ නායක, හිටපු නාගරික මන්ත්‍රී බෝසෙත් කලහෙපතිරණ මහතා ද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart