සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වියට්නාම් සංචාරය සඳහා ගිය පුද්ගලික ජෙට් යානයේ වියදම් දැරුවේ කවුදැයි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරුවලට අනුව යම් සමාගමක් මෙම ගුවන් ගමනේ වියදම් දරා ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන් අතර, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් රජයෙන් ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසුවේ ශ්‍රී ලංකා රජය මෙම ජෙට් යානය සඳහා කිසිදු මුදලක් වැය කර නොමැති බවත් සියලු වියදම් වියට්නාමයේ බෞද්ධ සංගමයක් විසින් දරා ඇති බවත්ය.
මැයි 6 වන දින පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයාට ආරාධනා කර තිබූ බවත් අමාත්‍යවරයා පැවසීය.
“දේශනයෙන් පසු මැතිවරණය සඳහා නැවත පැමිණීමට ජනාධිපතිතුමාට නොහැකි බව අපි ඔවුන්ට දැනුම් දුන්නා. ඒ අනුව සංවිධායකයින් වන වියට්නාමයේ බෞද්ධ සංගමය ජෙට් යානය පිළියෙල කළා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.