තංගල්ල විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ට පවතින රෝග තත්ත්ව පිළිබඳ තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරියකු ලවා පරීක්ෂා කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (14) නියෝග කළේ ය.
කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ‘හරක් කටා’ අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තමා දීර්ඝ කාලයක සිට අර්ශස් රෝගය ඇතුළු රෝග කිහිපයකින් පෙළෙන බවත් ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලැබෙන බවත්ය. තවද, වෛද්‍යවරයෙකු හමුවීමට අවස්ථාව ලැබුණද ප්‍රතිකාර ලැබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව මිස වෛද්‍ය නිර්දේශයන්ට අනුකූලව නොවන බවද ඔහු ප්‍රකාශ කළේය. එබැවින් තමාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා ප්‍රකාශ කළේ යම් පුද්ගලයකු රෝගී තත්ත්වයකින් පෙළෙන විට එහි වේදනාව දැනෙන්නේ ඔහුට පමණක් බවයි. ඒ අනුව විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ඔහු නියෝග කළේය.
විත්තිකරු ‘හරක් කටා’ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා වසර ගණනාවක් තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන බව පැවසීය. ඉදිරියේදී ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් එය සලකා බැලීමට අධිකරණයට බලයක් ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
අනතුරුව නඩුව ලබන 28 වන දිනට කල් තබන ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා සිටියදී ‘හරක් කටා’ පලායාමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 22ක් යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර ඇත.